Wednesday, 01 May 2024

චීනය ප්‍රමුඛව ලෝකයේ විශාලතම නිදහස් වෙළඳ කලාපය බිහිවෙයි

RCEP ගිවිසුම, ආසියා-පැසිෆික් සහයෝගීතාව, ගෝලීය පශ්චාත් වසංගත සංවර්ධනය


වසර අට (08) ක දීර්ඝ කාලීන සාකච්ඡාවකින් පසු ආසියා - පැසිෆික් කලාපයේ රටවල් 15ක් සම්බන්ධ කරගත් මෙගා නිදහස් වෙළඳ ගිවිසුමක් 2020. 11. 15 දා නිල වශයෙන් අත්සන් කරනු ලැබීය. එය කාලෝචිත හා ප්‍රරවර්ධනාත්මක පියවරක් වනවාට අමතරව කලාපීය වශයෙන් නව ගම්‍යතාවයක් ඇති කරමින් ගෝලීය පශ්චාත් වසංගත ආර්ථික ප්‍රකෘතිය පහසුකරනු ඇත.


අග්නිදිග ආසියානු ජාතීන් දස (10) දෙනෙකුගෙන් යුත් ආසියාන් සංවිධානය සහ චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වීඩියෝ තාක්ශනය හරහා එක්වෙමින්, එම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව (RCEP) ගිවිසුමට අත්සන් තැබූහ. වෙළඳ බාධක අඩුකිරීමට සහ කලාපය තුළ සබඳතා ප්‍රවර්ධනය කිරීමට එකඟ වූහ. ලෝකයේ විශාලතම නිදහස් වෙළඳ කලාපය බිහිවූයේ අවිනිශ්චිතතාවයන්ගෙන් පිරි තීරණාත්මක මොහොතකය. මතුව එන ආරක්ෂණවාදය සහ ඒකපාර්ශ්විකත්වය මෙන්ම ඇතැම් රටවලින් සිදු කෙරෙන වෙළඳ හා ආර්ථික හිරිහැර කිරීම ජාත්‍යන්තර සහයෝගීතාවයට මෙන්ම විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීමේ ගෝලීය ප්‍රවේශයට බරපතල තර්ජනයක් වී තිබේ.


කොවිඩ්-19 වසංගතය හේතුවෙන්, 1930 ගණන්වල මහා අවපාතයෙන් පසු ඇති වූ විශාලතම අවපාතය හමුවේ, ලෝකය, ආර්ථිකය පණගැන්වීමේ අරගලයක යෙදී සිටී. පසුගිය මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 වර්ෂය සඳහා ගෝලීය වර්ධනයේ සියයට 4.4 ක තියුණු පහත වැටීමක් අපේක්ෂා කරන බවට අනතුරු ඇගවීය. මෙවැනි අස්ථාවර තත්වයන් යටතේ, මෙගා වෙළඳ ගනුදෙනුව අස්සන් තැබීම, එම රටවල්වල බහුපාර්ශ්වීයත්වය සහ නිදහස් වෙළඳාම සඳහා ඇති ශක්තිමත් සහයෝගය සහ කැපවීම තහවුරු කිරීමකි. වෙළඳ ගිවිසුමට අනුව, අත්සන්කරුවන් අතර ආනයන සඳහා වන තීරුබදුවලින් සියයට 90ක් ක්‍රමානුකූලව ඉවත් කරනු ඇති අතර, ඊ-වාණිජ්‍යය, වෙළඳාම සහ බුද්ධිමය දේපල සඳහා පොදු නීති රීති සකස් කරනු ඇති අතර එමගින් විශාල වශයෙන් ආයෝජන ඉහළ නංවනු ඇත. කාර්මික හා සැපයුම් දාම තවදුරටත් ඒකාබද්ධ වනු ඇත. කලාපය පුරා භාණ්ඩ, අරමුදල් සහ පුද්ගලයින් ගමන් කිරීමට පහසුකම් සැපයෙනු ඇත. වෙළඳ ආරක්ෂණවාදය ප්‍රතික්ෂේප කිරීම, බහුපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම, දැනටමත් පවතින ඔවුන්ගේ සමීප වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සහ කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය සහ සංවර්ධනය වේගවත් කිරීම සඳහා රටවල් 15ක සාමූහික කැමැත්ත මෙම ගිවිසුමෙන් ප්‍රබල ලෙස ප්‍රදර්ශනය වේ.


චීන අගමැති ලී කේකියැන්ග් 2020 නොවැම්බර් 15 වන දින බීජිං හිදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ 4 වන කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව (RCEP) නායකයින්ගේ රැස්වීමට සහභාගී විය.


චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් පැවසුවේ ආර්සීඊපී ගිවිසුම ”බහුපාර්ශ්වීය හා නිදහස් වෙළඳාමේ ජයග්‍රහණයක්” බවයි. රැස්වීමට සහභාගී වූ වෙනත් රටවල නායකයින් ද එවැනිම අදහස් දැක්වූහ.


මෙම කලාපීය ආර්ථික හවුල්කාරීත්වය ආරම්භ කරන ලද්දේ ආසියාන් සංවිධානය විසිනි. එයට සහභාගී වීමට චීනය, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආරාධනා ලැබූහ. 2019 නොවැම්බරයේ පැවති සාකච්ඡාවල අවසාන මොහොතේදී ඉන්දියාව ඉවත්වීමට තීරණය කළේය. ආසියා-පැසිෆික් කලාපයේ බොහෝ ප්‍රධාන එක්සත් ජනපද මිත්‍රයින් මෙම ගිවිසුමේ සිටින අතර චීනයට මෙම රටවල හෝ ආසියාන් රටවල ආකල්පය මත ආධිපත්‍යය දැරීමට නොහැකිය. කෙසේ වෙතත්, සමහර එක්සත් ජනපද හා බටහිර පුද්ගලයින් තවමත් විශ්වාස කරන්නේ චීනය මෙම හවුල්කාරීත්වයෙහි ‘විශාලතම ජයග්‍රාහකයා’ බවයි.


සෑම රටකටම මෙම ගිවිසුමේ ජයග්‍රාහකයන් විය හැකිය. චීනයේ සංවර්ධනය සඳහා මූලික මාර්ගය මෙයයි. බලපෑම් ක්ෂේත‍්‍රවල පදනම මත ගෝලීය සිතියම තවදුරටත් ආලේප කළ නොහැක. බහුපාර්ශ්වීයත්වය තවමත් ජීව ශක්තියෙන් පිරී ඇති බවත් අපට එයට සහභාගී වීමට පුළුල් ඉඩක් ඇති බවත් මෙම ගිවිසුමෙන් (RCEP) පෙන්වා දේ. අප මෙතෙක් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී සංවර්ධනයේ මාවතට අනුගත වී ඇති අතර අපි දිගටම එම මාර්ගය අනුගමනය කරන්නෙමු, යැයිද චීන අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.


කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) පිළිබඳ නායකයින්ගේ ප්‍රකාශය


අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ආසියාන්) සාමාජික රටවල රාජ්‍ය ප්‍රධානීන් (බෘනෙයි දරුස්සලාම්, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලා ඕ පීඞීආර්, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය) හා ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, කොරියාව සහ නවසීලන්තය යන රටවල රාජ්‍ය ප්‍රධානීන්ද, 2020 නොවැම්බර් 15 වන දින, මාර්ගගතව පැවැත්වුණු 4 වන කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව (RCEP) සමුළුවේදී හමුවූහ.


කොවිඩ් - 19 ගෝලීය වසංගතය විසින් පෙර නොවූ විරූ අභියෝගයකට ලෝකය මුහුණ දී සිටින මොහොතක මෙම ගිවිසුම (RCEP) අත්සන් කිරීම පිළිබඳව අපි සතුටු වන්නෙමු. වසංගතයෙන් අපේ ආර්ථිකයන්ට, ජනතාවගේ ජීවනෝපායට හා යහපැවැත්මට ඇති අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින්, මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පෙන්නුම් කරන්නේ ආර්ථික ප්‍රකෘතිය, සියලූ දෙනාගේම සංවර්ධනය, රැකියා උත්පාදනය සහ කලාපීය සැපයුම් දාම ශක්තිමත් කිරීම සඳහා සහාය වීමට අප දක්වන ශක්තිමත් කැපවීමයි. විවෘත, සහභාගීත්ව, නීති රීති පදනම් කරගත්, වෙළඳ සහ ආයෝජන විධිවිධානයන් සඳහා අපගේ සහයෝගය ප්‍රකාශ කරමු. කොවිඩ් - 19 වසංගතයට අපගේ කලාපයේ ප්‍රතිචාරය සඳහා RCEP ගිවිසුම ඉතා වැදගත් බව අපි පිළිගනිමු. සියල්ල ඇතුළත් හා තිරසාර පශ්චාත් වසංගත ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියක් තුළින් කලාපයේ ශක්තිමත් නැගීසිටීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.


RCEP ගිවිසුම පෙර නොවූ විරූ මෙගා කලාපීය වෙළඳ විධිවිධානයක් වන අතර එය කලාපයේ සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින හා අවම වශයෙන් සංවර්ධිත ආර්ථිකයන්ගේ විවිධාකාර මිශ්‍රණයකින් සමන්විත වේ. බිලියන 2.2ක වෙළඳපොළක් හෝ ලෝක ජනගහනයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් ආවරණය වන ගිවිසුමක් ලෙස, ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 26.2ක් හෝ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක් නියෝජනය වන මෙම කලාපය, ගෝලීය වෙළඳාමෙන් 28% කට ආසන්න ප්‍රමාණයකට (2019 සංඛ්‍යාලේඛන අනුව) වගකියයි. ලොව විශාලතම නිදහස් වෙළඳ විධිවිධානය වන ගිවිසුම (RCEP) ගෝලීය වෙළඳ හා ආයෝජන නීතිවල පරමාදර්ශී රාමුවක් කරා යන වැදගත් පියවරක් නියෝජනය කරන බව අපි විශ්වාස කරමු.

ආසියාන් විසින් ආරම්භ කරන ලද වඩාත්ම අභිලාෂිත නිදහස් වෙළඳ ගිවිසුම වන එය, කලාපීය රාමුවල ආසියාන් කේන්ද්‍රීයභාවය ඉහළ නැංවීමට සහ කලාපීය හවුල්කරුවන් සමග ආසියාන් සහයෝගීතාව ශක්තිමත් කිරීමට දායක වේ. ගිවිසුම සඳහා සහභාගී වන ආසියාන් සහ ආසියාන් නොවන රටවල් අතර දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුම්වල කලින් ආවරණය නොවූ ක්ෂේත්‍ර එයට ඇතුළත් වේ. භාණ්ඩ හා සේවා වෙළඳාම සහ ආයෝජන ආවරණය වන නිශ්චිත විධිවිධාන හැරුණු විට, බුද්ධිමය දේපළ, ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යය, තරගකාරිත්වය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව සහ රජයේ ප්‍රසම්පාදනය පිළිබඳ පරිච්ඡේ ද ගිවිසුමෙහි ඇතුළත් ය.


RCEP ගිවිසුමෙන් ලැබෙන අවස්ථාවන් සහ එහි පූර්ණ හැකියාවන් සාක්ෂාත් කරගත හැක්කේ ගිවිසුම බලාත්මක වූ පසු පමණක් බව අපි එකග වෙමු. කලාපයට බලපාන වෙළඳ හා ආර්ථික ගැටළු පිළිබඳ සංවාද හා සහයෝගීතාවයේ වේදිකාවක් ලෙස RCEP සංවර්ධනය කරන ලෙස අපි ඉල්ලා සිටිමු. මෙම ගිවිසුම (RCEP) ඉන්දියාවට විවෘතව පවතින බව නැවත අවධාරණය කරමු. සහභාගී වූ මුල් රටවල් 16 න් එකක් ලෙස, 2012 සිට සාකච්ඡාවලට සහභාගී වීම සහ එහි උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඉන්දියාව මෙම ගිවිසුමට පිවිසීම සාදරයෙන් පිළිගනී.⋆

 

 

වම් ඉවුරේ වෙබ් නාදය