Monday, 01 March 2021

ඇත්ත දේශපාලන විග්‍රහය #


මේ ලියන මොහොත වන විට නව ඇමෙරිකානු ජනාධිපති ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් සහ උප ජනාධිපති කමලා හැරිස් සිය ධුරවල දිව්රුම් දීමට සියල්ල සූදානම්ය. වසර 232ක ජනාධිපති ධුර ඉතිහාසය තුළ එක් වරක් පමණක් ජනාධිපති ධුරයේ සිටි ජනාධිපතිවරයෙකුට එරෙහිව තම පළමු ධුර කාලය තුළදීම දෝෂාභියොගයකට ලක් කරනු ලැබු අවස්ථාවක් මින් පෙර නොවීය. එයට මුහුණ දුන්නේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඒ සඳහා වූ නඩු විභාගය ඔහුගේ ධුර කාලය අවසන්වීමට පෙර අවසන් වීමද අවිනිශ්චිතය.

නව ජනාධිපතිවරයා පත් වන්නේ මුළු ලොවම කොරෝනා ගෝලීය වසංගතයට බිහිසුණු ලෙස ලක්වී තිබෙන අවස්ථාවකය. ඇමෙරිකාව එම වසංගතයෙන් මෙන්ම ආර්ථික අර්බුදයක ගිලී සිටින අවස්ථාවකය. ඒ අනුව නව ජනාධිපතිට බලගතු අභියෝග රැසකට මුහුණ දීමට සිදුවෙනු ඇත.

පරාජය පිළිනොගන්නා ට්‍රම්ප්

පරාජයට පත්වූ 45 වන ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තවමත් තම පරාජය පිළිගෙන නැත. ඡන්ද ප්‍රෝඩාවකින් ජෝ බයිඩන් පත්වූ බව තවමත් ඔහු කියා සිටී. අධිකරණ තීන්දු මැතිවරණ තීරණ ඔහු පිළිගන්නේ නැත.
ඔහු ලබාගත් ඡන්ද ප්‍රමාණය වැඩි කරගෙන තිබුණද ඔහුගේ ප්‍රතිවාදියා ඡන්ද මිලියන 5ක් පමණ වූ වැඩි ඡන්දයකින් මැතිවරණය දිනා තිබුණද, එම තීන්දු තීරණ ඔහු පිළිගත්තේ නැත. ඔහු එසේ හැසිරෙන්නේ යම් අරමුණක් ඇතිව විය හැකි බව 2021 ජනවාරි 6 වැනිදා පාර්ලිමේන්තුව අභියස සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තේරුම් ගත හැකිය. ‘ජනප්‍රියවාදයෙන්’ පෙළෙන ඔහු සුදු වර්ණ ඇන්ග්ලෝ- ඇමෙරිකන් වර්ගයා ශ්‍රේෂ්ඨ යැයි පිළිගන්නා උම්මන්තකයෙකු බව ලොවට ප්‍රදර්ශනය වී හමාරය. සරණාගතයින් සහ සංක්‍රමණිකයින් සිය රටට ඇතුල්වීම වළක්වාලීමට මෙක්සිකෝ-ඇමෙරිකානු දේශ සීමාවේ දැවැන්ත මහා ප්‍රාකාරයක් ගොඩ නැගු රාජ්‍ය නායකයෙකු මින් පෙර අසා නැත.
සිය ධුරයේ වැඩ ආරම්භ කළ දිනයේ සිට ‘ඇමෙරිකාව පළමුව’ සහ ‘ශ්‍රේෂ්ඨ ඇමෙරිකාව’ වචන යොදා ගනිමින් දේශප්‍රේමීත්වයක් තම රටට පෙන්වීමට උත්සහ කළ ඔහුගේ ධුර කාලය අවසන් වන විට ඇමෙරිකාව අභිබවා චීනය ආර්ථික බලවතා බවට පත්ව ඇත.

චීනයේ නැගීම

2020 වසරේදී චීනය ක්‍රය ශක්තිය අතින් ඇමෙරිකාව පසු කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කළේය. මේ ලියන මොහොත වන විට 2020දී චීනයේ මුළු නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 15.6ක් බව ප්‍රකාශ වී ඇත. 2019 සංඛ්‍යා ලේඛන අනුව ඇමෙරිකාවේ මුළු නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 19ක තත්ත්වයේ තිබුණි. අද වන විට ඇමෙරිකාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය සෘණ තත්ත්වයට පත්ව ඇති හෙයින් චීනය සහ ඇමෙරිකාව නිෂ්පාදනය අතින් සම තත්ත්වයට පත්වීමට හෝ චීනයට ඇමෙරිකාව අභිබවා යාමට හෝ හැකිවී තිබිය හැකිය.

ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් චීනයට එරෙහිව ආර්ථික තහංචි අපනයන සහ ආනයන බදු 35%කින් වැඩි කළද, චීනය අපනයනය, ආනයනය විදේශ විනිමය සංචිතය 2020 තුළදී තව තවත් වැඩි කරගෙන තිබේ. චීනය ඇමෙරිකාවේ එම තීරණවලට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වූයේ ආර්ථික උපක්‍රම සියුම් ලෙස වෙනස් කරමිනි. දේශීය පරිභෝජනය වැඩි කරමින් සහ නව තාක්ෂණය යොදා ගනිමින් තම නිෂ්පාදනය වැඩිකරලීමට චීනය දක්ෂ වීය.
ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය තුළින් සිදුවූයේ ඇමෙරිකාව සෙසු රටවලින් තනිවී කොන්වීම පමණය. 1980 සිට ක්‍රියාත්මක වූ නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ගය තුළින් සිදුවූයේ අපේක්ෂා නොකළ පරිදි ආර්ථිකය ගැඹුරු අර්බුදයකට පත්වීමය. ආර්ථික ජාතිකවාදයක් නිර්මාණය කිරීම නිසා සිදුවූයේ සංවර්ධිත බටහිර රටවලින් පවා දුරස් වීමය. ධනේෂ්වර කදවුරේ සගයින් තිදෙනාවූ ඇමෙරිකාව - යුරෝපා සංගමය - ජපානය අතර ප්‍රතිවිරෝධතාවයන් උත්සන්න විය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය. තුර්කිය නේටෝ සංවිධානයෙන් බැහැර විය. ජර්මනිය සහ ඇමෙරිකාව අතර තිබු හොඳ හිත පලූදුවීය.

බහුද්‍රව ලෝකය

1945 දී එනම් දෙවන ලෝක යුද්ධය අවසානයේදී ලෝක බල තුලනය වෙනස් වී බ්‍රිතාන්‍ය වෙනුවට ඇමෙරිකාව ලෝක බලවතා විය. සමාන්තරව දෙවන ලෝක බලවතා වූයේ සෝවියට් සංගමයයි. 21 වන සියවසේ තුන්වන දශකය ආරම්භ වන විට එනම් 2021දී ලෝක ආර්ථික බලතුලනය යළි වෙනස්වී චීනය ලොවේ පළමුවන නැත්නම් දෙවන ආර්ථික බලවතා බවට පත්ව ඇත.

1945-2020 අතර කාල පරිච්ඡේදය වසර 75කි. මෙකී කාලය තුළ ඨ8 ලෝක බලවතුන් අට දෙනා වෙනුවට ලෝක බලවතුන් 20 දෙනෙකු මතුවී තිබේ. ඒ අනුව ලෝක ආර්ථික රටාව ඒකද්‍රව හෝ ද්විද්‍රව හෝ නොව බහුද්‍රව බවට පත්ව ඇත. 1945දී දෙවන ලෝක යුද්ධය අවසන් වන විට ලොවේ සිටියේ තනි න්‍යෂ්ටික බලවතෙකු පමණය. 2020 වන විට ලෝක න්‍යෂ්ටික බලවතුන් දස දෙනෙකුය. මහ බලවතුන්ට අමතරව උතුරු කොරියාව සහ ඉරානයද දැන් න්‍යෂ්ටික බලවතුන්ය. එකී රටවල් දෙකම න්‍යෂ්ටික බලවතුන් වශයෙන් පත්වුණේ ඇමෙරිකාවට මුහුණ දීමේ අරමුණෙනි. මින් ගම්‍ය වන්නේ ඇමෙරිකාවේ ආර්ථික විදේශ ආරක්ෂක ප්‍රතිපත්තිය ඵල දරා නැති බවයි.

ඇමෙරිකාව අඛණ්ඩව ඉදිරියෙන්ම සිටියේ තාක්ෂණ කේෂ්ත‍්‍රයෙහි දැන් චීනය ඇමෙරිකාව හා සම තත්ත්වයට පත්ව ඇත. G5 තාක්ෂණයට හිමිකම් ලැබු චීනය තාක්ෂණයෙන්ද ලෝකයේ ඉදිරියට පැමිණියේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළදීය. ට්‍රම්ප් වියරු වැටුණේ G5 තාක්ෂණයට චීනය හිමිකම් අත්කර ගත්තායින් පසුවය.

ඉහතින් දැක්වූ සියලූ සාධක ගෙනහැර පෑවේ නව ජනාධිපති ජෝ බයිඩන් මුහුණ දී තිබෙන අභියොගයන් පෙන්වා දීමටය.

ඇමෙරිකාවේ පසුබැස්ම ආරම්භ වූයේ 21 වන ශතවර්ෂය උදාවීමත් සමගය. 1991දී සෝවියට් සංගමය බිද වැටී යුරෝපානු සමාජවාදී රටවල් විසිරී ගිය අවස්ථාවේ බලයේ සිටි ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් සිය 2002 රාජ්‍ය දේශනය පවත්වමින් කළ සිය දේශනයෙන් කොටසක් උපුටා දක්වමු.

”දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි ඇමෙරිකාව සීතල යුද්ධයක් ජයග්‍රහණය කළා. කදවුරු දෙකකට බෙදී තිබූ ලෝකය දැන් එක කදවුරකය. දැන් ලෝකයේ එකම බලවතා ඇමෙරිකාව පමණයි.”

මැද පෙරදිගින් ලද පරාජය

එම ප්‍රකාශය කළේ ඇෆ්ගනිස්ථානයට එරෙහි යුද්ධයට ඇතුල් වීම අරමුණු කොට ගෙනය. ඊට ලැබණ ප්‍රතික්‍රියාව වූයේ ඇමෙරිකාව විසින්ම පෝෂණය කර හදා වඩා ගත් අල්කයිඩා ත‍්‍රස්තවාදී ප්‍රහාරයට ඇමෙරිකාවේ අගනුවර ලක්වී තුන්දාහක් ඝාතනය වීමය. ඉන් අනතුරුව මැද පෙරදිග යුද්ධය ආරම්භ විය. වසර විස්සක යුද්ධයකට පසු ඇමෙරිකාව සිය හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් මෙන්ම ඉරාකයෙන්ද ඉවත් කර ගනිමින් සිටී. ලැබූ ජයක් නැත. ඇෆ්ගනිස්ථාන් යුද්ධය ඩොලර් ට්‍රිලියන 02ක්ද, ඉරාන යුද්ධයට ඩොලර් ට්‍රිලියන 04ක්ද, වැය කොට ඇමෙරිකානු හමුදා මළකදන් සමග පසුබැසීමට සිදුවී තිබේ.

ජෝර්ජ් බුෂ්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, බැරැක් ඔබාමා සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරු සතර දෙනෙකු එම යුද්ධ මෙහෙය වූවේය. සිදුවූයේ ඝාතන සහ විනාශය පමණි. තෙල් සම්පත් අතහැර දැමීමට සිදුවිය.
ඇමෙරිකාව ලෝක බලවතා වූ පසු ගෝලීයව මෙහෙයවනු ලැබූ යුද්ධ මෙසේය. කොරියානු, වියට්නාම්, ගල්ෆ්, ඇෆ්ගනිස්ථාන්, ඉරාක, සිරියා, ලිබියා, යේමන යන මේ සියල්ල අසාර්ථක වෑයම්ය. මීට අමතර ආණ්ඩු වෙනස් කිරීම්, ආක්‍රමණ ක්‍රියා, දේශපාලන ඝාතන, ආර්ථික තහංචි අපමණය.

අභියෝග

පළමුවන ලෝක යුද්ධය (1914-18) සහ දෙවන ලෝක යුද්ධය (1939-1945) අවම හානිය පාඩුව ලද ඇමෙරිකාවට වැඩිම වාසිය අත්පත් කර ගත්හ. අවි, තෙල්, ආහාර, ඖෂධ, වාහන සැපයීමේන් 1941-2020 දක්වා යුද්ධවලින් උපයාගත් මුදල් සම්භාරය තුළින් ඇමෙරිකාව ලෝක බලවතා විය. එසේ වුවද, ඇමෙරිකාවේ 46 වන ජනාධිපති ජෝ බයිඩන්ට මුහුණ පෑමට සිදුවන අභියෝග ඉදුරාම වෙනස්වූ ලෝක තත්ත්වයක් තුළය. රොනල්ඞ් රීගන්ගේ සිට ඩොනල්ඞ් ට්‍රම්ප් දක්වා සියලූ ජනාධිපතිවරුන් ඉතිරි කළ දායාද සියල්ලටම කර ගැසීමට සිදුවී ඇත්තේ ජෝ බයිඩන්ටය.

1857දී ආරම්භ වූ ධනවාදයේ පළමුවන ආර්ථික අර්බුදයේ සිට විවිධාකාර යුද්ධ සහ ලෝක යුද්ධ හරහා ව්‍යාප්ත කරනු ලැබු අධිරාජ්‍යවාදය හැම පෙරමුණකම සාපේක්ෂව දුර්වල තත්ත්වයක වන අවධියක ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ භූමිකාව වෙනස් විය යුතුමය. පෙර ජනාධිපතිවරුන්ගේ උපාය මාර්ග සහ ප්‍රතිපත්ති තවදුරටත් වලංගු නැත.

නව ජනාධිපතිට සිදුවන්නේ පළමුව රට තුළ පවතින ප්‍රබල බෙදීම සමනය කරලීමය. වහල් ක්‍රමය අහෝසි කිරීමට ගොස් ඒබ්‍රහම් ලින්කන්ට මුහුණ දීමට සිදුවූයේ උතුර දකුණ වශයෙන් රට දෙකට බෙදීම නවතාලීමය. සුදු වර්ණවාදය ඊට හේතුවිය. වසර 160කට පමණ පසුව දැන් නව ජනාධිපති ජෝ බයිඩන්ට සිදු වී තිබෙන්නේ ඇමෙරිකාව දෙකඩ වීම වළක්වාලීමය. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ කුරුමානම එයයි. ජනවාරි 06 වැනිදා ප්‍රචණ්ඩත්වය දියත් කළේ එම අරමුණ ඇතිවය. පුළුල් දැක්මක් නැති ඩොනල්ඞ් ට්‍රම්ප් ජාතිවාදය අවුසන්නේ ජෝ බයිඩන් දුෂ්කර තත්ත්වයට පත්කරලීමටය.

ආර්ථික අර්බුදය

ලෝක පොලිස්කාරයාගේ භූමිකාව ජෝ බයිඩන්ට අත්හැර දැමීමට ඇමෙරිකානු ධනපති පන්තිය ඉඩ දෙන්නේ නැත. ඒ අනුව ආරක්ෂන හා විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කරලීම අවශ්‍ය වනු ඇත. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නව ආර්ථික උපාය මාර්ගයකට යෑමට ඇති ඉඩකඩ අඩුය. එය රදා පවතින්නේ ඇමෙරිකානු වැඩ කරන පන්තිය දක්වන ආකල්ප සහ දැක්ම අනුවය. බර්නි සැන්ඞ්ස් වැනි රැඩිකල් මතධාරීන්ගේ භූමිකාවට වඩා අවකාශ ලැබෙනු ඇත.

බැරැක් ඔබාමා ආරම්භ කළ ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් වඩාත් පණගැන්වූ ආසියාවට යොමු වූ විදේශ ආරක්ෂණ සහ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට ජෝ බයිඩන් වෙත පැවරෙන වගකීමකි.

ජෝ බයිඩන් ඉහළම ප්‍රමුඛත්වය දෙනු ඇත්තේ තම පන්තියේ ජාත්‍යන්තර නායකයින් මිත‍්‍ර කර ගැනීමය. එහිදී යුරෝපා සංගමය ප්‍රධාන තැනක් ගනු ඇත.

ඊළඟට ඔහුගේ අවධානය යොමුවනු ඇත්තේ ආසියාවටයි. මෙහිදී ඉන්දියාව ප්‍රමුඛ තැනක් ගනු ඇත. පවතින විෂය මූලික තත්ත්වයන් අනුව ආසියානු රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක දේශපාලන පක්ෂ සහ නායකයින් මට්ටමේ දේශපාලන සාකච්ඡා සහ සම්මුතින් ඇති කර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය ඉහළ ප්‍රමුඛත්වය දෙනු ඇත. ඒ සඳහා වූ මතවාදී අරගලය තියුණු කිරීම ජෝ බයිඩන්ගේ මුලෝපාය විය හැකිය.

නැගී එන චීනයට මුහුණදීමට දෘෂ්ඨිමය අරගලය හැර වෙනත් අවියක් නැත. ආර්ථික අර්බුදවලට විසඳුම් වශයෙන් යුද්ධය තෝරා ගැනීම ධනවාදයේ ඒකාධිකාරි අවධියේ සිට දේශපාලන විසඳුම විය.

ජෝර්ජ් බුෂ්ගේ සිට ත‍්‍රස්තවාදය පෝෂණය කිරීම තම උපාය මාර්ගයක් බවට පත් කළේ, අනුන් ලවා යුද්ධ තත්ත්වයන් නිර්මාණය කරලීමටය. දැන් එම ත‍්‍රස්තවාදය ලෝක පරිමාණයේ බලවත් ගෝලීය අභියෝගයකි. ඇත්ත වශයෙන්ම ලෝකය මුහුණ දෙන සියලූම අභියෝග අධිරාජ්‍යවාදයේ නිර්මාණයන්ය. එම උපාය මාර්ග පාරා වලල්ලක් වී තිබේ.

දකුණු ආසියාව නිතැතින්ම ජෝ බයිඩන්ගේ ඉහළම ප්‍රමුඛතාවයයි. හේතුව ඉන්දියානු සාධකය චීනයට එරෙහිව යොදා ගැනීමටය. වෙනත් විකල්පයක් නැත.

2021 ජනවාරි 24 - ඇත්ත

 

 

 

වම් ඉවුරේ වෙබ් නාදය