Monday, 03 August 2020

ඩී. කේ. ජිනදාස


ලංකා බැංකුවේ හිටපු කීර්තිමත් මහ කළමනාකරුවකු මෙන්ම ලංකා බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමයේ ප්‍රධාන සභාපති ඒ. සරත් ද සිල්වා මහතා පසුගිය දා දිවිසැරියට සමුදුනි. නිපුන වෘත්තීයවේදියෙකු, සමාජ ක්‍රියාකාරිකයෙකු, ප්‍රගතිශීලියෙකු, මානව හිතවාදියෙකු වශයෙන් පැතිරුණ ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාධරයෙකු වූ සරත් සිල්වා මහතා මිය යන විට 77 වන වියේ පසුවිය.

ලංකා බැංකුව ගම් නියම්ගම් දක්වා විමධ්‍යගත කිරීමේ පුරෝගාමියෙකු වූ සරත් ද සිල්වා මහතා පොදු ජනතාව අතර ජනප්‍රිය බැංකුකරුවෙකු විය. රාජ්‍ය ආයතනයක් වශයෙන් ලංකා බැංකුවට ඇති සමාජ වගකීම නිතර ආවර්ජනය කළ ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටි නිලධාරියෙකි.

සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන් විවිධ ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාකාරිකයකු වූ සරත් ද සිල්වා මහතා ශ්‍රී මහා බෝධි රන්වැට භාරකාර මණ්ඩලයේ බොහෝ කාලයක් නායක කාර්යභාරයක් ඉටු කළේය. ලංකා බැංකුවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු රාජ්‍ය ආයතන ගණනාවක සභාපතිවරයකු වශයෙන් ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වශයෙන් ද ක්‍රියාකළ සරත් සිල්වා මහතා ලංකා බැංකුවේ විශ්‍රාමික සංගමයේ සභාපතිවරයා ලෙස විශ්‍රාමිකයන්ගේ යහපත වෙනුවෙන් වෙහෙසී කටයුතු කළ නායකයෙකු විය. අපේ රටේ සමාජ සංවර්ධනයේ විවිධ පැතිකඩ ඔස්සේ ක්‍රියාත්මක වෙමින් ඊට මහගු දායකත්වයක් සැපයීමට සරත් ද සිල්වා මැතිතුමාට හැකිවිය. සමාජ අසාධාරණයන්ට එරෙහි පිලට සහයෝගය දැක්වූ ඔහු ලාංකික සමාජ ප්‍රශ්න දෙස මානව හිතවාදී කෝණයෙන් දැකීමට උත්සාහ කළේය. විද්වත් වෘත්තිකයෙකු ලෙස ඔහුගේ දැනුම සහ බුද්ධිය මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් කැප කළේය. ඔහු රාජ්‍ය සම්පත් රැක ගත යුතුය යන සංකල්පයේ දැඩිව සිටියේ ය. ලංකා බැංකු මාණ්ඩලික සමාජ සේවා සංගමයට දශක ගණනාවක් නායකත්වය දෙමින් එය වර්තමානය දක්වා ගෙන ඒමට පුරෝගාමී වූයේ ද සරත් සිල්වා මහතා ය. 

අපි අපේ ආචාරය ඔහුට පළ කරමු.

ඩී.කේ. ජිනදාස


මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් තම දිවිසැරියට සමුදී මේ දෙසැම්බර් දෙවැනිදාට තුන් මසකි. ඔහු පිළිබඳ මතකය ලාංකේය සමාජයෙන් තවත් කාලයක් යනතුරු නොමියෙනු ඇත. ලාංකේය සමාජයට ඔහුගෙන් ලැබුණු බුද්ධිමය දායකත්වය, එමගින් මෙරට සමාජ සංවර්ධනයට ඉටු වූ අනුපමේය මෙහෙම අමරණීය ය.

කාලෝ විද්‍යාත්මක දෘෂ්ටිය වෙනුවෙන් අසීමිත ධෛර්යයේ හා කැපවීමේ අභිමානවත් චරිතයක් විය. මිත්‍යාවට එරෙහිව ඔහු ගෙනගිය අභීත අරගලයේ නිවැරැදිභාවය එතෙක් මෙතෙක් ඉතිහාසය විසින් ඔප්පු කොට හමාර ය. හේතුවාදීන්ගේ සංගමයේ නිර්මාතෘ ඒබ්‍රහම් ටී. කොවුර් මැතිතුමා සමඟ තරුණ වියේදී ම එක්වූ කාලෝ මිත්‍යාවට එරෙහිව ඇරඹූ අරගලය විප්ලවකාරී ක්‍රියාවක් විය. අරක්කු බී ඌරු මස් අනුභව කරමින් ගිනිපෑගීමට හැකි බවත් එය හාස්කමකින් සිදු නොවන බවත් පැහැදිලි කරන්නට ඔහු ප්‍රායෝගිකව ක්‍රියා කළේ ය. දුප්පතුන් ගහණ සමාජයක් තුළ ආර්ථික වශයෙන් දුෂ්කර අඩියකට වැටෙන මිනිසුන් මිත්‍යාවට ආකර්ශණය වන බවත් දුප්පත්කමට එරෙහිව සටනේ දී මිත්‍යාවට එරෙහිව සටන් කිරීමද ඉතා වැදගත් බව ඔහුගේ දැඩි මතය විය.

විද්‍යාව තාක්ෂණය නව ජයග්‍රහණ සොයා ඉදිරියට යන යුගයක මිත්‍යාව පසුපස දුවන මිනිසුන් කෙරෙහි ද මිත්‍යාවට රාජ්‍ය අනුග්‍රහය ලැබීම පිළිබඳවද ඔහු තුළ වූයේ පිළිකුලකි. අපේ රටේ සාක්ෂරතාව සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව වෙනුවෙන් ඔහු නිරතුරුව කැපවූයේ ය. සමාජ අසාධාරණයට එරෙහිව ඍජුව ම පෙනී සිටි කාලෝ මුළු ජීවිත කාලය තුළ ම එකම මතයක සිට කටයුතු කළ මිනිසෙකි. ඔහු අනුගමනය කළ වාමවාදී දේශපාලන භූමිකාව කිසි විටෙකත් පාවා නොදී මිය යන තුරු ම එකම ප්‍රතිපත්තියක සිට කටයුතු කළ ප්‍රතිපත්තිගරුක මිනිසෙකි. වෛද්‍ය විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලනය කලාව හා සාහිත්‍ය ආදී ක්ෂේත්‍ර ගණනාවක විරල ගණයේ දැනුම් සම්භාරයක් සහිත බුද්ධිමතෙකු වූ කාලෝ සිය දේශනයේදී ලේඛනයේදීත් අලුත් අදහස් සමාජගත කිරීමේ පුරෝගාමී කාර්යයක් ඉටු කළේ ය. කොළඹ සහ රාගම වෛද්‍ය පීඨ දෙකෙහි ම පීඨාධිපතිවරයා ලෙස මෙරට වෛද්‍ය අධ්‍යාපනයට ඔහුගෙන් සිදුවූ සුවිසල් මෙහෙය කිසි සේත් ලඝු කොට සැලකිය නොහේ. 

කාලෝ ෆොන්සේකා මැතිතුමා සමග මගේ මිත්‍රත්වයට දශක හතරකි. එම දශක හතරේ අපේ මතකයෙන් බිඳක් ද ඔහුගේ අවසන් සමුගැනීමේ අවස්ථාව පිළිබඳව ද යමක් ලියන්නට මෙතැන් සිට මම උත්සාහ කරමි. කාලෝ මට මුලින්ම හමුවෙන්නේ ලංකා බැංකුවේ අනේවාසික විදේශ මුදල් ගිනුම් අංශයේ මා සේවය කළ 80 දශකයේ දී ය. කලින් මා ඔහු දැන හඳුනාගෙන තිබුණ ද බැංකුවේ දී හමුවීම තුළ සහ අපෙ දෙදෙනාගේ ම වාමවාදී දේශපාලන භූමිකාව අපේ මිත්‍රත්වය ඔහු මිය යන තුරු ම ශක්තිමත්මත්ව පැවතීමට හේතු වූ බව මම සිතමි. පසු කලෙක ඔහු මගේ පවුලේ මිත්‍රයෙක් බවට පත් විය. පසුගිය වසර 40 තුළ මසකට දෙකකට වරක් මගේ තොරතුරු විමසීම ඔහුට අමතක නොවීම මටද පුදුමයකි. කෙනෙකු සමග ඇති සබඳතා නිතර නිතර අලුත් නොකරන්නේ නම් ඔහුද කෙමෙන් කෙමෙන් මතකයෙන් තමා ඈත් කරන බවව ඔහු මා සමග කියා ඇත. එය අත්දුටු සත්‍යයකි. සබඳතා අලුත් නොකිරීම සබඳතා මිය යෑමට හේතු වන බව තවත් වරෙක ඔහු කීවේ ය. කාලෝ එය මා වෙනුවෙන් අනුගමනය කළේ ය. ඉඳහිට කතා කොට පුතා සමග මේ පැත්තේ ඇවිත් යන්න බැරි දැ යි විමසන ඔහු අප එනතුරු බලා සිටින අයුරු ද මට මෙනෙහි වේ.

කොළඹ සහ රාගම වෛද්‍ය පීඨවල සේවය කළ සමයේ ඔහු එක දිනක් වෛද්‍ය සායනයකට වෙන කර තිබුණි. ඒ සායනයට දිවයිනේ හතරදිග්භාගයෙන් ම රෝගීන් පැමිණි අතර බොහොමයක් ඉතා අහිංසක මිනිසුන් ය. එම සායනයට මම ද බොහෝ පිරිසක් යොමු කළෙමි. ඉතා චාම් දිවි පෙවෙතකට පුරුදුව සිටි කාලෝගේ සුහදශීලිත්වයද නිහතමානී බවද මෙහි සඳහන් නොකර සිටිය නොහේ. මම ඔහුට ‘සර්’ යැ යි ඇමතීමට පුරුදුව සිටියෙමි. කිහිප දවසක් එසේ ඇමතීමේදී ජිනදාස සහෝදරයා ඇයි මට සහෝදරයා කිා කියන්නට බැරි යැ යි ප්‍රශ්න කළේ ය.

මා 2014 වසරේ ඇත්ත පුවත්පතේ වගකීම් භාරගත් පසුව සතිපතා එයට තීරු ලිපියක් ලිවීමට ඔහුට ආරාධනා කළෙමි. ඒ නිසා සෑම බදාදා දවසකම මම ඔහු ඇමතීමට පුරුදුව සිටියෙමි. ඔහුගේ ලිපිය අවශ්‍ය වෙලාවට එවීමට ඔහු වගබලා ගත්තේ ඔහුගේ කාර්යබහුලත්වය තුළ ම ය. එම ලිපිය ටයිප් කර අප වෙත එවීමට දමයන්ති නම් මහත්මියකට ඔහු පවරා තිබුණි. පසුගය වසර පහේ ම ඇය සමග දුරකතනයෙන් කථා කළ ද මුණ ගැසී නොතිබුණි. මා අවසන් වරට කාලෝ මුණගැසුණේ අගෝස්තු මාසයේ මැද භාගයේ දී ය. ජුනි මාසයේ දිනක මා ඔහු හමුවට ගොස් ඩිව් ගුණසේකර සහෝදරයාගේ ගැන ලිපියක් ලියා දෙන්නට යැ යි ඉල්ලා සිටියෙමි. දින දෙකකින් තුනකින් එම කාර්යය ඉටු කොට ඔහු මට කීවේ මගේ කාර්යය ඉටු කළ බවයි. ඔහු අවසන් වරට ලියු ලිපිය එය බව ද සඳහන් කළ යුතු ය.

පසුගිය සැප්තැම්බර් 2 දා කාලෝ මිය ගිය පුවත මට දැනගන්නට ලැබුණේ ඔහු මිය ගොස් සුළු වේලාවක් ඇතුළත ය. මම වහ වහා කිසි දා නොදුටු දමයන්තිට කථා කළෙමි. ඇය මට කීවේ තව පැය කිහිපයකින් සියලූ කටයුතු අවසන් වන බවත් සිදුවන්නේ කුමක් දැ යි විනාඩි 10කින් පවසන බවකි. එසේ ම ඈ මා අමතා ප්‍රකාශ කළේ දැන් සර්ගේ සිරුර මල් ශාලාවට ගෙන ගිය බැවින් ගෙදරට පැමිණ පලක් නැති බවයි. තවත් පැය දෙකකින් රාගම වෛද්‍ය පීඨයට සිරුර බාරදෙන්නට කටයුතු යොදා ඇති බව ද ඈ වැඩිදුරටත් කීවා ය.

ඒ වන විට වෙලාව දවල් 1.30 පමණ වී තිබු බැවින් මම වහ වහා සූදානම්ව කුලී රියකින් රාගම වෛද්‍ය පීඨය වෙත ගියෙමි. ආරක්ෂක නිලධාරින් ගේට්ටුවේදී මගෙන් තොරතුරු විමසූ අතර මා ඔහුට පැවසුවේ කාලෝ සර්ගේ මෘතදේහය වෛද්‍ය විදුහලට බාර දීමට දැන් ගෙන එන බවයි. එහෙත් ඒ වන විට ඔහු එය දැන නොසිටි අතර තවත් නිලධාරීන් පිරිසක් මගෙන් කරුණු විමසා සිටිනු ලැබීය. දැන් වේලාව 2.30 පසුව ඇත. දැන් කෙමෙන් කෙමෙන් වෛද්‍ය පීඨය යුහුසුළු වෙන බව මට පෙනිණි. පීඨ ශාලාවේ මෘතදේහය සහිත පෙට්ටිය තැන්පත් කිරීමට පොළව පිරිසිදු කොට සකසා මිදුලේ වතුර වලවල් වැලිදමා පිරිසිදු කෙරෙයි. වෛද්‍ය සිසුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සුදු කොඩි කිහිපයක් ද කාලෝගේ රුව සහිත බැනරයක් ද ප්‍රදර්ශනයට කටයුතු කළෝ ය. එක් නිලධාරියෙක් පැමිණ මගෙන් තොරතුරු විමසා මට වාඩිවී සිටීමට පහසුකම්ද සැලසුවේ ය. දැන් තවමත් වෛද්‍ය පීඨයෙන් පිට අයෙකුට සිටින්නේ මා පමණි. පස්වරු 4.30ට පමණ වන විට කාලෝ සමග වැඩ කළ කිහිප දෙනෙක් ද පැමිණියෝ ය. මම නිතර නිතර දමයන්ති මහත්මියට කතා කොට තොරතුරු විමසා පිළිගැනීම් කටයුතු සූදානම් කළ පිරිසට ඒ බව දැන්වූ අතර විටින් විට ඔවුන් මා අසලට පැමිණ දේහය දැන් රැගෙන එමින් සිටින්නේ පෑලියගොඩ ද වත්තල ද ආදී වශයෙන් විමසූවෝ ය. 

දේහය රැගත් රිය 5.15 පමණ රාගමට පැමිණි අතර වෛද්‍ය සිසුන් විසින් දේහය බාරගෙන ශාලාව කරා ගෙන එනු ලැබුණි. වෛද්‍ය පීඨයේ සිසුන් ආචාර්ය මණ්ඩලය පවුලේ අයට අමතරව මා දන්නා අය අතර සිටියේ හිටපු ඇමැතිවරයකු වූ ෆීලික්ස් පෙරේරා සහ මහාචාර්ය සමන්ත හේරත් යන මහත්වරු පමණි. වෙනත් මා දන්නා දේශපාලන ක්‍රියාකාරීන් හෝ විශේෂ පුද්ගලයන් කිසිවෙකු නොවීය. මා දන්නා වමේ කිසිවෙක් එහි නොසිටි නිසා මගේ කල්පනාව නිවැරදි යයි මම සිතමි. ඒ සියලූ දෙනා වෙනුවෙන් මා ඔහුට ආචාර කළෙමි. වෙලාව 5.45 පමණ වන්නට ඇත. මහාචාර්ය කාලෝගේ පුත් රංග ෆොන්සේකා දේහය අසලට පැමිණ පැමිණි පිරිසගෙන් අවසර පැතීය. ඔහුගේ කථාව විනාඩි 2කි.

ඔහුගේ කථාව මෙසේ ය.

01. තාත්තා කියා තිබුණා ආගමික වතාවත් අවශ්‍ය නොවන බව.

02. තාත්තා කියා තිබුණා දිග කතා පැවැත්වීම අනවශ්‍ය බව.

03. හැකි ඉක්මනින් දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට ගෙන ගොස් චාන්දනී මිස්ට බාරදෙන ලෙස තාත්තා කියා ඇති බව. (මගේ මතකයට අනුව ඔහු කී නම චාන්දනී විය යුතු ය.)

04. ඔහුගේ කැමැත්ත අනුව ඔහු විසින් රචිත ගීතය ‘ධනයට ඇයි දැඩි ආශා’ වාදනය අතර එයට ද සවන් දෙන මෙන් ඉල්ලා සිටිනවා.

ගීතය වාදනය වී හමාර වූ පසු කාලෝගේ දේහය වෛද්‍ය පීඨය තුළට ගෙන යනු ලැබීය. වසර ගණනක් දුරකතනයෙන් හමුව සිටි දමයන්ති මහත්මිය කාලෝ අවසන් ගමන් යන මොහොතේ මම හඳුනාගතිමි. තම ක්‍රියාව කථාව සිය අවසන් ගමනෙන්ද ඉතා අලංකාර ලෙස ඔප්පු කොට නික්ම ගිය කාලෝ ෆොන්සේකා මහචාර්යවරයා පරමාදර්ශී ය. ඔහුගේ අව්‍යාජ සමාජ ක්‍රියාකාරීත්වය විද්‍යාතමක චින්තනය වෙනුවෙන් තිරසාර කැපවීම මෑත යුගයේ කිසිවකු තුළින් මා දැක නොමැත. කාලෝ සහෝදරය ඔබට අපේ ආචාරය.

 

 

 

 

Popular Tags

වම් ඉවුරේ වෙබ් නාදය