Saturday, 24 October 2020

 

 මහජන චීන සමූහාණ්ඩුව සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර සකස් වී ඇති විසි පස් අවුරුදු ආර්ථික හා ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ ගිවිසුම ජාත්‍යන්තර මාධ්‍ය තුළ රැව් - පිළිරැව් දෙන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙම පුළුල් ගිවිසුම මගින් ඩොලර් බිලියන් ගණන් චීන ආයෝජන ඉරානයේ ආරම්භ කිරීමට නියමිත අතර, අඩු මිලට ඉරාන තෙල් චීනයට සැපයෙනු ඇත. ආරක්ෂක සහයෝගීතාව, බුද්ධි තොරතුරු හුවමාරුව හා ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම වැනි කරුණුද ගිවිසුමට ඇතුළත්ව ඇතැයි වාර්තා වී ඇත. චීනය සමඟ මෙවැනි 25 අවුරුදු ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා සිදුවන බව පිළිගත් ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ්, එම ගිවිසුම ඉරාන පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතු බවද ප්‍රකාශ කළේය.

බටහිර කැළඹේ

මේ ඇතිවෙමින් පවතින වර්ධනයන් සමඟ බටහිර ලෝකයේ විවිධ විචාරක කණ්ඩායම් කැළඹී ඇති බවක් පෙනේ. සමහරුන් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රවෘත්තිය බටහිරට අසුබ බවත්, මැද පෙරදිග හා ආසියාවේ භූ දේශපාලනය මේ මගින් ඉඳුරාම වෙනස්වන බවත්ය. තවත් සමහරුන් තර්ක කරන්නේ යෝජිත වැඩ පිළිවෙල යථාර්ථයක් නොවනු ඇති බවය. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කරන්නේ මෙම ගිවිසුම මැද පෙරදිග අස්ථාවර කරනු ඇති බව හා ඊශ්‍රායලය, සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනතුරට හෙළන බවත්ය. බටහිර ප්‍රතිචාර පිළිබඳ අදහස් දක්වන ඉරාන දේශපාලන විචාරකයින් පවසන්නේ, වසර 150ක් තිස්සේ ඉරානය වෙළඳාම, ආයෝජන, අධ්‍යාපනය ආදී සියලු ක්ෂේත්‍ර සඳහා යුරෝපය දෙස බලා සිටි නමුත් ඉරාන න්‍යෂ්ඨික ගිවිසුම බිඳ දැමීමට ඇමරිකා එක්සත් ජනපදය ගෙනගිය හා ගෙනයන වැඩ පිළිවෙලට ශක්තිමත් ලෙස ප්‍රතිචාර දැක්වීමට යුරෝපය අසමත් වීම නිසා ඉරාන ජාතිකයන් තුළ යුරෝපය කෙරහි විශ්වාසය පළුඳු වී ඇති බවයි. චීනය මෙන්ම ඉරානයත් දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය පුළුල් කරන්නටත්, ශක්තිමත් කරන්නටත් උනන්දු වන බව එම විචාරකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

චීනය හා ඉරානය අව්‍යාජ ආසියානු බලවතුන්

මැද පෙරදිග කටයුතු පිළිබඳ විශේෂඥයින්ගේ මතයට අනුව, ගොඩබිම හරහා යුරෝපයට ප්‍රවේශ වීමේදීත්, මධ්‍යම ආසියාවට හා යුරෝපයට ඇති ආසන්න බවත් නිසා චීණ ආයෝජකයින්ගේ දැඩි උනන්දුවක් ඉරානය වෙතට යොමුව ඇත. එබැවින් ඇමරිකානු තහංචි හෝ සෞදි ආරබි නොසතුට චීන - ඉරාන සබඳතාවලට බල නොපානු ඇති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. ආසියාවේ පැති දෙකක පිහිටි අව්‍යාජ බලවතුන් දෙදෙනෙකු වන චීනය හා ඉරානය ඉතා ගැඹුරු අන්‍යෝන්‍ය ගෞරවයකින් ක්‍රියා කරමින් සියලුම ක්ෂේත්‍රවල (ආර්ථික, දේශපාලන හා යුදමය) සහයෝගීතාවය පුළුල් කරමින් සිටින බව මැද පෙරදිග පිළිබඳ චිචාරකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

ඇමරිකානු ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය පරාදයි

ඒක පාර්ශ්වීයව ක්‍රියා කරමින් ඉරානයට උපරිම පීඩනය ගෙනදීම අරමුණු කොට ක්‍රියාත්මක කරමින් තිබෙන සම්බාධක ප්‍රතිපත්තිය ආසාර්ථක වී ඇති බව බොහෝ විචාරකයින්ගේ මතයයි. ඉතා පුළුල් විදේශ ප්‍රතිපත්ති ජාලයක් සහිත ඉරානය, සියලු කුණාටුවලට ඔරොත්තු දිය හැකි ස්ථායිතාවයක් ඇති රටක් බව දශක හතරකට අධික කාලයක් තිස්සේ ලොවට පෙන්වා දී ඇත.

පසුගිය මැයි 17දා බෙන්ජමින් නෙතන්යාහු නායකත්වය දෙන දක්ශිණාංශික ලිකුද් පක්ෂය, මධ්‍යස්ථ මතදාරී ‘නිල් සහ සුදු’ පක්ෂය හා එක්වී ඊශ්‍රායලයේ සමගි රජයක් බිහි කළේය. අගමැති පදවියට පත්වීමෙන් අනතුරුව නෙතන්යාහු ප්‍රකාශ කළේ බටහිර ඉවුරේ ඇති යුදෙව් ජනාවාස පිහිටි ප්‍රදේශ හා ජෝර්දාන් නිම්නය තුළ ඊශ්‍රායල් ස්වෛරීත්වය පිහිටුවීමේ වැඩපිළිවෙළ ජූලි 01 දා ආරම්භ කරන බවයි.  ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ සයොන්වාදී ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පරිච්ඡේදයක් මේ මගින් ලියවෙනු ඇති බවයි.

ඊශ්‍රායලයේ සිදුවෙමින් පවතින නව වර්ධනයන් මෙන්ම ඒ කෙරේ ඇමරිකාව සම්බන්ධ වී ඇති ආකාරය නිසා නැවතත් ඊශ්‍රායල් - පලස්තීන අර්බුදය  පිළිබඳව ජාත්‍යන්තර අවධානය  යොමුවී තිබේ.

ඉතිහාසය 

මධ්‍යධරනී මුහුද හා ජෝර්දාන් ගග අතර පිහිටි යුරෝපය, ආසියාව හා අප්‍රිකාව හමුවන එසේම, යුදෙව් හා ක්‍රිස්තියානි ආගම්වල උපන් බිම වූ ප්‍රදේශය පලස්තීන කලාපය ලෙස හැඳින්වුනි. පලස්තීනය  විටින් විට  ඊජිප්තුව, පර්සියාව හා රෝමය වැනි විවිධ අධිරාජ්‍යයන්  යටතේ පාලනය වී ඇත. මෑත කාලීනව ඔටෝමන් හා මහා බ්‍රිතාන්‍ය වැනි රටවල් පලස්තීනය පාලනය කළේය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුදෙව් ජාතිකයන් සඳහා වෙනම රටක් පිළිබඳ සාකච්ඡාවක් මතුවිය. එතෙක් පලස්තීනය සම්බන්ධව පැවති මහා බ්‍රිතාන්‍යයේ පාලනය 1947 දී අවසන් කරන බව  ප්‍රකාශ වීමත් සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යුදෙව් හා අරාබි වශයෙන් රාජ්‍යයන් දෙකක් ලෙස පලස්තීනය බෙදා වෙන් කළේය.

ඒ අනුව 1948 මැයි මාසයේ ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යය බිහිවූයේය. මෙයට විරෝධය පාමින් අසල්වැසි අරාබි රටවල් යුද වැදුනත් යුද්ධය අවසානයේ එක්සත් ජාතීන් විසින් යෝජනා කරනු ලැබූ ප‍්‍රමාණය ඉක්මවා  ඊශ්‍රායලය විසින් භූමිය අත්පත් කරගෙන තිබුණි.

අරාබි පාලනයට නතුව ඉතිරිවූයේ නැගෙනහිර ජෙරුසෙලම ඇතුළු ජෝර්දාන් ගගේ බටහිර ඉවුර ප්‍රදේශය හා ගාසා තීරයයි. නමුත් දින 06ක් පුරා 1967 දී පැවතුනු අරාබි -  ඊශ්‍රායල් යුද්ධය අවසානයේ එම ප්‍රදේශ ද  ඊශ්‍රායල් පාලනයට නතුවිය. මෙසේ අල්ලා ගනු ලැබූ අරාබි භූමිවල  ඊශ්‍රායල් ජනාවාස පිහිටුවීම ආරම්භ කෙරුණු අතර පලස්තීනුවෝ තම අරගලය සංවිධානාත්මකව ගෙනයාම සඳහා පලස්තීන විමුක්ති සංවිධානය යසර් අර්ෆත්ගේ නායකත්වයෙන් පිහිටවූයේ 1965 දී ය. 1967 සිට 2016 දක්වා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විවිධ අවස්ථාවලදී යෝජනා 11ක් සම්මත කොට ඇත්තේ මූලික වශයෙන් අසල්වැසි, ස්වාධීන සහ ස්වෛරී  ඊශ්‍රායල් හා පලස්තීන රාජ්‍යයන් දෙකක් පිහිටුවා ගැනීමේ අරමුණිනි.

මෙම යෝජනා සැලකෙන්නේ ජාත්‍යන්තර නීතින් ලෙසයි. මෙම යෝජනාවලින් පැවසෙන මූලික කාරණා කෙටියෙන් මෙසේ දැක්විය හැකිය.

1. ජෝර්දාන් ගගේ බටහිර ඉවුර ප්‍රදේශය හා ගාසා තීරය ඇතුළත් භූමිය අනාගත  පලස්තීන රාජ්‍යය වියයුතු අතර නැගෙනහිර ජෙරුසලම එහි අගනුවර විය යුතුය. 

2. 1967 ජූනි 04 දාට පසුව  ඊශ්‍රායලය විසින් විවිධ අවස්ථාවලදී පලස්තීන භූමිය අල්ලා ගැනීම් හා ඉදිකරන ජනාවාසවල කිසිදු නීත්‍යානුකූල වලංගු භාවයක්  නැති අතර එම ක්‍රියාවන් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් සේ සැලකෙන බව  

3. මීට අමතරව අවස්ථානුකූල විවිධ කරුණු එම යෝජනාවලට ඇතුළත් වී ඇත.

‘ශත වර්ෂයේ ගනුදෙනුව’ (යෝජනාව)

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශත වර්ෂයේ යෝජනාව (ගනුදෙනුව) ලෙස නම් කොට මැදපෙරදිගට ඉදිරිපත් කරනු ලැබූ සාම සැලස්මට අනුව ‘බටහිර ඉවුර’ ප්‍රදේශයේ 1/3ක් ඈඳා ගැනීමට  ඊශ්‍රායලයට අවසර ලැබේ. සමස්ත ජෙරුසලම  ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඉන් පිළිගැනේ.

මේ සතියේ  ඊශ්‍රායලයේ ස්ථාපනය වූ සමගි රජය මගින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට පියවර ගන්නා බව ප්‍රකාශ වූ අතර, ඒ අනුව බටහිර ඉවුරෙන් 1/3ක් ඈඳා ගන්නා බව  ඊශ්‍රායලය දැනටමත් ප්‍රකාශයට පත්කොට ඇත. මෙම වැඩ පිළිවෙලට අනුව කොන්දේසිවලට යටත්වූ,  ඊශ්‍රායලයෙන් මුළුමනින්ම වටවූ තැනින් තැන පිහිටි භූමි කොටස් සහිත ‘පලස්තීන රාජ්‍යයකට’ ඉඩ ලැබෙනු ඇත.

මෙම වැඩපිළිවෙළට යුරෝපා සංගමය, රුසියාව හා චීනය මෙන්ම එක්සත් රාජධානිය ද සිය විරෝධය පළකොට ඇත. 

යුරෝපා සංගමය සම`ග පැවති සාකච්ඡාවකදී ජෝර්දානයේ අබ්දුල්ලා 2 රජු ප්‍රකාශ කළේ මෙම ක්‍රියාමාර්ගයට අනුග්‍රහය දක්වන පිරිස් විසින් ගෙනයන වැඩපිළිවෙල ‘දැවන්ත ගැටුමකට’ මගපාදන බවත්, ”ඔවුන් විසින් ප්‍රවර්ධනය කරන වැඩපිලිවෙල හරහා ඇති විය හැකි තත්ත්වය ඔවුනට නොතේරෙන” බවත් ය.

වගකීම

අපේ යුගයේ ලෝකය මුහුණ දෙන බරපතලම ජාත්‍යන්තර ගැටලූවක් වන මෙම අර්බුදය ජාතික විමුක්තිය, ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය හා සියල්ලටම පෙර මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක් වී  ඇත. එබැවින්, ජාතික විමුක්තිය, ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය, මනුෂ්‍යත්වය හා සාධාරණත්වය අගයන සියල්ලන් පලස්තින රාජ්‍යය දියකර හැරීමේ මෙම ඇමෙරිකා -  ඊශ්‍රායල් කුමන්ත‍්‍රණය පරාජය කිරීම සඳහා පෙළ ගැසිය යුතුය. 

2020 මැයි 31 ඇත්ත පුවත්පතේ ද පළ විය


 

 

වම් ඉවුරේ වෙබ් නාදය