අනුරසිරි හෙට්ටිගේ#
‘සේන’ යන්න සිංහල නාම ලැයිස්තුවේ ජනප්‍රිය නාමයක් බව කොළඹයා සිතන්නේ ය. එය නිකමට සිතෙන දෙයක් නොව, ‘නාම වලිය’ක් හා සම්බන්ධව සිතෙන දෙයක් ය. ‘සේන’ලා පුද්ගල නම් අතර මුලත් සිටින්නේ ය; අගටත් සිටින්නේ ය. කොහේ සිටියත් කොළඹයා ‘සේන’ලා ගැන සිතන්නේ කොළඹයන්ට ම ආවේනික වූ පිළිවෙළකට ය. ‘සේන’ ලෙසින් පුද්ගල හැඳුනුමේ ඈත ම ඈත පිරිස්සද්දී කොළඹයාට මුණ ගැහෙන පළමු ‘සේන’යා අස්ස වෙළෙන්ඳෙක් ය. ඒ තනි ව නොවේ දෙබෑයන් ලෙස ය. ‘සේන සහ ගුත්තික’ උන් ය. දෙබිඞ්ඩන් වැනි ය. අස්ස වෙළඳාමේ පැමිණ අනුරාධපුර රාජධානියේ පාලනය සූරතිස්ස ගෙන් පැහැර ගෙන වසර දහයක් පවත්වා ගත්තේ ආක්රමණිකයකු වූ මේ වෙළෙඳ කට්ටුවේ ‘සේන’ ය. නාමයේ ඇති ආක්රමණික ස්වරය නිසා ම ‘සේන’ නාමය එසේ මෙසේ ‘නාම වලියක්’ නොවූ බවත් කොළඹයා දන්නේ ය. අසේල රජ වනතුරු ම සේන දූපත් රාජ්‍යයේ පාලකයා වූයේ ය.
ඉන්පසු කොළඹයා අත්දකින ‘සේන’ලා මාර ය. දූපතේ පාලකයා ලෙස එක ම එක දවසක් බලය ඉසිලූවේ ‘සොත්ති සේන’ ය. අනේ අසරණ සේන! කොළඹයන් ‘සොත්තියා’ කියන්නෙ තමන්ට වලංගු නැති අතක් හිමි උන්ට ය. රජෙකු වුවත් ‘සොත්ති සේන’ එක දවසකින් යළි පහළට වැටුණේ එනිසා නොවන්නට බැරිය. රජ වුවත් ‘සේන’ලාගේ ඉතිහාසය ඒ තරම් සුබ එකක් නොවන්නේ ය. ‘මිත්තසේන’ රජකම දැරුවේ එක් අවුරුද්දකි. ‘කීර්තිසේන’ මාස නමයකි. අවුරුදු දහ අටක් රජකම් දැරුවත්, අමරණීය කලා වැව නිර්මාණය කළත් ‘ධාතුසේන’ සිය යකඩ දෝලියගේ දරුවා වූ ‘කාශ්‍යප’ අතින් හිටුවා පස් ගසා මරණයට පත් වුණේ ය. සේනලාගේ අවාසනාව ගැන තවත් කවර කතා ද? ඉන්පසු ‘සේන’ලා පෙරහැරක් හිටියත් ‘නාම වලියේ’ පමණක් නම ලියා අතුරුදහන් වූ රජවරුන් වැනිය. පළමු, දෙවනි, තුන්වැනි, හතර වැනි සහ පස්වැනි සේනලා ගැන වීර කතන්දර නිර්මාණය නොවන්නේ එනිසා ය.
කොළඹයාගේ අත්දැකීම් කලාපයේ සමීප ව සිටි, මේ මොහොතේ මතකයට එන ‘සේන’ලා ද පෙරහැරකි. ඒ සේනලා ලියාපදිංචි නාමයේ ඉස්සරහින් මෙන් ම පස්සෙනුත් සිටින්නෝ ය. ඉස්සරහා ‘සේන’ලා සේනායක ලා ය. පළමු ව දොන් ස්ටීවන් ය. රජකම දරද්දී ම අසුපිටින් වැටී මළේ ය. දෙවනුව ඩඞ්ලි ෂෙල්ටන් ය. හර්තාලයකට මැදිව රජකම අත්හැරිය ද නැවත තුන් වතාවක් ම රජ වී අන්තිම අහිංසක තනිකඩයෙකුව දිවි ගෙවා මළේ ය. අතනටත් මෙතනටත් පැන්න ‘රොනී මොඩලයේ’ සේනානායක ඒ පරපුරේ ම වසන්ත ය. දේශපාලනයේ අනාථ වූ සේනානායක රුක්මන් ද ඔවුන්ගේ ම ය. මේ සේනායකවරුන්ගේ ජීවිත අන්තිම අවාසනාවන්ත ය. බණ්ඩාරනායකලාගේ පරපුරේ දිරච්ච ලණුවක් කා අනාථ වූ සේනානායක මෛත්‍රීපාල ය. ජේ.ආර් ව ද පරාජය කළ සේනානායක, රිචර්ඞ් ගෝඨාභය (ආර්.ජී) ය. (ආහ්) ලංකාවේ පළමු වරට දඹදෙණිය සහ කැලණිය යන ආසන දෙක ම ජයග්‍රහණය කර ආසන දෙකක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ වීරයා ඔහු වන්නේ ය. අවාසනාවන්ත සේන ලා අතර සිටියත් පරපුරු නාම භේදයෙන් තොර ‘ගෝඨාභය’ ලා එහෙම ය. වීරයන් ය. බියක් ඇත්තේ ම නැත. අන්තිම අහිංසක ම සේනානායක ධර්මසිරී ය. පොත් ලියා අමණීය වූ සේනානායක දෙකට්ටුව ජී. බී. සහ සෝමවීර ය.
නාමයේ මුලට පැමිණ අග තිබූ මුල් අකුර සන්ධි කරගත්තේ සේන - අධිපති ලා ය. පසුව ‘සේනාධිපති’ නම් ලද්දෝ ඔවුන් වන්නේ ය. යුද ගණයකට නායකත්වය දෙන සන්නාමයක රැුඳෙමින්, මුහුද මැද පාවෙන අවි නැව් බිස්නස් කළෝ මේ සේනාධිපති ලා ය. කොළඹයා දන්නා අහිංසකම සේනාධිපති වන්නේ ක්ලැරැන්ස් විජේවර්ධන ගායකයාට දිල්හානි සින්දුව ලියූ සේනාධිපති ය. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කොළඹයා සමග ඇසුරක සිටි සගයා ද ඔහු ය. කොළඹයාගේ මව් පාර්ශ්වයේ ඥතිවර, ‘කේ. සේන’ අගට හෝ මුලට කිසිදු සහායක් නොගත්ත ද අමරණීය ගීයක් ගැයූ ගායකයෙක් ය. ‘මවකගෙ උණුසුම නොලබා - සැපට නිදන පුතේ’ ඔහු ගැයූ ‘අහිංසක’ ගීතයකි.
‘සේන’ අගට යා කරගත් ‘නාමා වලිය’ දිග ය. විටෙක ගරු කටයුතු මතකයක් සේම හාස්‍යෝත්පාදක මතකයක් ද කොළඹයාට ගෙන එන්නේ ය. ඉනිදු ‘සිරි’ - යන්න යා කරගත් ‘සිරිසේන’ ලා ප්‍රමුඛය. ඉන් සමීපතම මතකයෙන් පටන් ගතහොත් ‘මෛත්‍රිපාල’ පෙරමුණේ ය. මන්ද ‘සිරි’ මුහු වන්නට පෙර මෛත්‍රිය පෙරටුව සිටින බැවිනි. ‘හිටං’ යන්න ‘සිරි-සේන’ට පර්යාය වූයේ ඔහු නිසා ය. කොළඹයාගේ පියාගේ සමීප මිත්‍ර කම්කරුවා ‘වරායේ සිරි-සේන ය. පාපන්දුවෙන් දූපතම නැලවූ ‘ෆුට් බෝල් සිරා’ හෙවත් පී.ඞී. සිරි-සේන කොළඹයාගේ මාමා ය. ‘අයියෝ සිරිසේන’ නමින් ජනප්‍රිය වූ බයිස්කෝප් කොමිට්කාරයා ‘දොන් සිරි-සේන’ ය.
‘සිරි බැහැර කොට ගෙන ‘ගුණ එකතු කරගෙන දූපතේ නූතන ‘ගුරුලූගෝමි’ වූයේ ‘ගුණ-සේන’ ය. කලකට පෙර දූපතේ පොත් ප්රකාශනයේ වීරයා ඔහු ය. ‘සිරි‘ වෙනුවට ‘ජය’ එකතු කරගත් ජය-සේන කොළඹයාගේ මාමා කෙනෙකි. ඒ දෙකම හැර පියා ‘පිය’ සන්නය මුලට ගත් ‘පිය-සේන’ කොළඹයාගේ යෞවනය ගෙවී ගිය කොළඹ 12 සාංචිආරච්චි වත්තේ මරණාධාර සමිතියේ අනුශාසක ය. අහිංසකයෙකි. ධන-සේන ලා, ඥන-සේන ලා, පුණ්‍ය-සේන ලා ආදි අගින් සේන ඈඳාගත් මතක මිනිසුන් රොත්තක්ම කොළඹයාගේ සිහියට එතත් ලියන්නට ඉඩ මදි ය. ඉහළින් ම මතකයට එන ‘සේන’ ලා දෙන්නෙක් ගැන කියන්නට ඇති නිසා ය.
කොළඹයාගේ අම්මා, ආච්චිගේ උරුමයකට උර දෙමින් ‘කොළඹ මැනිං වෙළෙඳ පොලේ’ තට්ටුවක් පාලනය කළ කාලයේ අම්මාගේ ගෝලයා වූ ‘සේන’ පළමු වැන්නා ය. කුඩා කාලයේ සිට ම දඩබ්බරයකු වූ ‘සේන කොලූවා’ වැදූ අම්මටාත් වඩා කොළඹයාගේ අම්මාටත් තාත්තාටත් ආදරය කළේ ය. කොළඹයාගේ අම්මා සිරිපාදේ යන්නට ‘උඩරට මැණිකේ’ අල්ලන්නට කොටුවේ ස්ටේෂමට එක්ක ගියේ මේ සේන ය. කෝච්චිය වේදිකාවට එද්දී වේදිකාව අග්ගිස්සට ගිය සේන, සෙනඟට ඉදිරියෙන් සිටි ඉක්මනින් පෙට්ටියකට පැන ‘අම්මා’ට අසුනක් අල්ලා දීමට ඇති කැමැත්ත නිසා දුම්රිය නවත්තන්නට පෙර මැදිරියකට ගොඩ වීමට යාමෙන් රේල් පාරට වැටුණේ ය. දුම්රිය මැදිරි කිහිපයක් ම ඔහු වැටුණු තැන පසු කර ගොස් ය. මිනිසුන්ගේ විලාපය අතර ‘අම්මා’ගේ මර ලතෝනිය මුහු ව ගියේ ය. රේල් පාරට එබෙන මිනිසුන්ගේ දෑස් විසල් කරමින් වේදිකාවේ සිමෙන්ති බැම්මත්, කෝච්චි පෙට්ටිත් අතරින් නැගී සිටියේ ‘අපේ සේන’ ය.; සීරීමක් වත් නැතිව ය. එහෙව් ‘වීර- සේන’ ලා ගැනත් කොළඹයා දන්නේ ය.
දෙවැන්නා ‘නන්ද-සේන’ ය. සුමංගල ශබ්ද කෝෂයට අනුව ‘නන්ද’ යනු ප්‍රීතිය, මනෝඥ බව සහ අසංඛ්‍යයක් යන්න අර්ථ වන්නේ ය. එහෙත් මේ නන්ද-සේන මේ එකකටවත් අයත් නැත්තේ ය. ඔහු සන්තබස්තියම් වීදියේ පපඩම් වත්තේ සිටියේ ය. නහරකාරයෙකි. එනිසා ම පදම ඉක්මවා සුරා පානය ද කරන්නේ ය. බීගත් විට ගමේ චණ්ඩියා ඔහු ය. නැතිවිට ගමේ අහිංසකයා ද ඔහු ය. එක ම මිනිසා තුළ දෙබිඩි ගති පිහිටා ය. අහිංසක ‘නන්ද-සේන’ට කවුරුත් ආදරේ ය. ‘බේබදු නන්ද-සේන’ කාටත් පිළිකුල් ය. කතා කළොත් වලියක් ය. අතක් ඉස්සුවොත් ගුස්පියක් ය. සරම ඉස්සුවොත් යට කලිසමත් නැති ය. චණ්ඩිකම ඉස්මුරුත්තාවේ ය. අංගුලිමාල පරදවන තරමේ මරු මුස් ය. ‘අහිංසක නන්ද-සේන’ පාරේ යන බල්ලන්ට පූසන්ට පමණක් නොවේ කාක්කන්ටත් ආදරේ ය. පන්සලට යන්නේ දොහොත් මුදුන් දී ගෙන ය. හාමුදුරුවන්ගේ දෙපා අල්ලා සිඹින්නේ ය. එහෙව් නන්දසේන ලා භයානක ය. කොයි මොහොතේ අහිංසක සළු උනා දමා අංගුලිමාලට අඳින්නේ දැ යි සිතා ගන්නට බැරි නිසා ය. එදාට හාමුදුරුවොත් අකාලේ නිවන් යන්නට බැරි නැත.
කොළඹයා ‘සේන’ලා ගැන මේ හැටි ලියන්නේ නිකමට ම නෙමේ ය. මතක ගබඩාවේ වැතිර සිටින ‘සේන’ලා මතකයේ හැටියට ම ‘අහිංසක’ ලා නොවන නිසා ය. ‘සේන’ ලා කොහොමටත් දෙබිඞ්ඩෝ ය. රත්නපුරේ සමන් දේවාල පෙරහැරේ මහබඹා මෙනි. මුහුණු දෙකකි. දැන් දැන් හෙළිදරව්වන කාරණාවලට අනුව වර්තමාන ‘සේන’ලා අගට පිහිටියත් මුලට පිහිටියත් ‘නාම වලියේ’ රිටිගල ජයසේන භූමිකාවට අවතීර්ණ වීමේ කැමැත්ත ප්‍රකට කරන බව නොකියා ම බැරි ය. මහසෝන් අවතාරය වූයේ ද ‘රිටිගල ජය-සේන’යන් නිසා නම් අගට වී සැඟව සිටින ‘සේන’ලා ගේ කියුම් බස් නොතකා සිටින්නට ද බැරි ය. එසේ කියා ඇස් කන් පියා සිටින්නට ද බැරි ය. එනිසා ම කොළඹයා මෙසේ කියන්නේ ය.
‘දෙබිඞ්ඩනි..! සමය ම නටන්නට පටන් ගත් පසු මහසෝනාටත් බෙර හඬට දැපනේ වැටී අයිලයට නගින්නට සිදුවන්නේ ය. ‘දුම්මල සාත්තුව’ විඳින්නට සිදු වන්නේ ය.. අවසානයේ උඩුකය කරකවමින් ‘හේරංගය’ හෙවත් ‘සේන’ නටන්නට ද සිදු වන්නේ ය’.