ඩිව් ගුණසේකර විසිනි
ගෝඨාගේ ජයග්‍රහණයට මූලිකව හේතු වූ සාධකය පවතින ආණ්ඩුවට එරෙහි විරෝධය මිස ඇතැම් අන්තවාදී කොටස් මෙන්ම ප්රතිගාමී බුද්ධිමතුන් විසින් හඳුන්වා දෙන සිංහල - බෞද්ධ මතවාදය ඵල ගැන්වීමක් නිසා සිදුවූවක් නොවේ. ඔහුට ඡන්දය දුන් අති බහුතරය ඔහු විසින් ම තම පළමු කථාවෙන්ම කියා සිටි පරිදි සිංහල - බෞද්ධ වූ බව සැබෑ ය. එහෙත් ඔහුගේ ජයග්‍රහණයට හේතු වූ ප්රමුඛ සාධකය ආණ්ඩු විරෝධී භාවයයි. එම ආණ්ඩු විරෝධී භාවයට බලපෑ ප්‍රධාන කරුණ, සමාජ - ආර්ථික සාධකයයි.
මහාචාර්ය සිරි හෙට්ටිගේගේ පූර්ව මැතිවරණයට සමීක්ෂණවලට අනුව 60%ක් ම ඡන්දය පිළිබඳ තීරණ ගැනීමට බලපෑ ප්‍රධාන හේතුව වී තිබුණේ ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් නොතිබීමයි. දෙවන සාධකය ජාතික ආරක්ෂාව පිළිබධ සාධකයයි. තෙවැන්න විරැකියාව නම් සාධකයයි.
මේ බව 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් ද ඔප්පු කරනු ලැබ ඇත. තවද ජනාධිපතිවරණයට පෙර පැවත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලවලින් ද තවදුරටත් ඔප්පු කරනු ලැබ ඇත.
එම ප්‍රතිඵල දෙකෙන්ම බැස ගත හැකි නිගමනය යූඇන්පීයේ ඡන්ද පදනම 25%කට බැස ඇති බව ය. මෙය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් ද පැහැදිලි වන්නේ ය. දකුණු පළාතේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස සෑම මැතිවරණ ආසනයකින්ම ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 20% - 25% ත් අතර ප්රමාණයකි. මෙම ප්‍රදේශ මූලිකව සිංහල - බෞද්ධ ප්රදේශයි. දිස්ත්‍රික්ක 22න් දහසයක ම ජය ලබා ගන්නේ ගෝඨාභයයි. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව, මහින්ද රාජපක්ෂ ජයගෙන තිබුණේ දිස්ත්‍රික්ක එකොළහක් පමණ ය. එම මැතිවරණයේ දී ආණ්ඩු විරෝධී සාධකය ක්‍රියාත්මක වූයේ මහින්ද රාජපක්ෂට එරෙහිවයි. දෙමළ - මුස්ලිම් ජනතාව අති බහුතරය ගෝඨාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව ප්‍රකට කරුණකි. එය ඡන්ද ප්‍රතිඵල සිතියමෙන් ද පැහැදිලි වේ.
එහෙත් සත්‍ය වන්නේ 2015 ජනාධිපතිවරණයේ දී එම ප්‍රවණතාවය එසේම තිබූ බවයි. එම ඡන්ද 2015 දී මෛත්‍රීපාලටත්, 2010 දී සරත් ෆොන්සේකාටත් ලබා දී තිබුණේ ඔවුන් දෙදෙනාම යූඇන්පීය ප්රමුඛ සන්ධානයෙන් ඉදිරිපත්වීම නිසා ය. මෙය අලුත් සාධකයක් නොවේ. සජිත්, ගෝඨාභයට අතර කැපී පෙනුණ සිංහල - බෞද්ධ ජාතිකවාදයෙනි. එහෙත් දෙමළ - මුස්ලිම් ජනතාව ඔහුට ඡන්දය ලබා දුන්නේ ඔහු යූඇන්පීය නියෝජනය කළ බැවිනි.
ඒ අනුව දෙමළ - මුස්ලිම් ජනතාව ජාතිවාදීව ඡන්දය භාවිතා කර ඇතැයි නිගමනය කිරීම සාධාරණ නොවේ. එය දේශපාලන මතවාදයක් මත ලබාදුන් ඡන්දයක් මිස ජාතියාදයක් මත දුන් ඡන්දයක් වශයෙන් සැලකිය නොහැකිය. ප්රභාකරන්ගේ මස්සිනා වූ සිවාජිලිංගම්ට ඡන්දය දීමට බහුතරය තීරණය කළේ නැත.
මහින්දට දුන් උතුරේ - නැගෙනහිර - කදුරට ඡන්ද ප්‍රමාණයට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් ගෝඨා ලැබූ බව සත්‍යයකි. එසේ අඩු වූයේ ජාතිවාදී හෝ ආගම්වාදී හෝ හේතු නිසා නොවේ. ගෝඨාභයට එරෙහිව ගෙනයනු ලැබූ විෂම ප්‍රචාරයන් නිසා ය.
ඡන්ද ප්‍රතිඵලය සමස්තයක් වශයෙන් ගත් කළ, ඡන්ද බෙදී යාමට හේතු වූ සාධක සමාජ - ආර්ථික හේතු මිස ජාතිය හා ආගම නොවන බව පැහැදිලි ය. එනම්, එය දේශපාලන තීන්දුවකි.
දමිළ - මුස්ලිම් ජනතාව සාම්ප්‍රදායික වශයෙන් මුල සිටම යූඇන්පියට ඡන්දය දෙන ප්‍රවණතාවයක් තිබේ. ඊට හේතු වූ ඓතිහාසික කරුණු තිබේ. 1982 ජනාධිපතිවරණයේ දී හෙක්ටර් කොබ්බෑකඩුවටත්, 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගටත් දමිළ ජනතාවගේ බහුතරය ඡන්දය ලබා දුන් බව අපි අමතක නොකළ යුතුය. එසේ කිරීමට ද ඓතිහාසික හේතු තිබේ. ඒ සුවිශේෂී අවස්ථා දෙකකි.
උතුරේ වත්මන් TNA සංවිධානට දේශපාලන වශයෙන් මෙන්ම පන්තිමය වශයෙන් ගත් කළ දමිළ ධනපති පන්තියේ දේශපාලන සංවිධානයයි. යූඇන්පීය සහ ටීඑන්ඒ අතර ඇත්තේ පන්තිමය නෑදෑ සබඳතාවයකි. ඒ අනුව ටීඑන්ඒ සංවිධානය SLFP හෝ SLPP පක්ෂවලට වඩා යූඇන්පීයට කැමති වීම පුදුමයට හේතුවක් නොවේ.
ගෝඨාභයට ඡන්දය දුන් ජනතාවගේ අති බහුතරය සිංහල - බෞද්ධ වුවද ඔවුන් අවිධිමත් ආර්ථික ක්ෂේත්රයට අයත් ජනතාවකි. ක්‍රය ශක්තිය අඩු, දුප්පත්කම වැඩි, අසරණ, බොහෝ විට ගම්බද ජනතාවයි. මෙම සාධකය කලක පටන් අවතක්සේරු කරනු ලැබ ඇත. ආර්ථිකයේ 14%ක ශ්‍රමිකයන් අයත් වන්නේ රාජ්‍ය සේවයට ය. ඔවුන් අතරින් 60%ක් ඡන්දය දී තිබෙන්නේ ගෝඨාභයට ය. තවත් 26%ක් ශ්‍රමික පිරිසක් අයත් වන්නේ පෞද්ගලික අංශයේ විධිමත් ක්ෂේත්රයට ය. ඔවුන් කෙසේ ඡන්දය දුන්නාදැයි සොයාගත නොහැකිය. ඉතිරි 60% අයත් වන්නේ අවිධිමත් පෞද්ගලික අංශයට ය. ස්වයං රැකියා, සුළු ව්‍යාපාර, කුඩා ඉඩම් කැබලි හිමි සමාජයේ පහළම ස්ථරයයි. මෙම 60%ක් වූ අති බහුතරය ඡන්දය දී තිබෙන්නේ ගෝඨාභයට ය. නගරය සජිත්ටත්, ගම ගෝඨාභයටත් වශයෙන් ද ඡන්දය දී ඇති ආකාරයක් පෙනේ.
නව ජනාධිපති වශයෙන් තේරී පත්වී ඇති ගෝඨාභය මෙම සත්‍ය සාධක තේරුම්ගත යුතුය. තම ප්‍රතිපත්ති - වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී ගෝඨාභය සිය දැඩි අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් තිබේ. එකක්, තමන්ට බහුතර ඡන්ද ලැබුණු ආර්ථිකයේ අවිධිමත් ක්ෂේත්රයයි. දෙවැන්න තමන්ට ඡන්දය නොදුන් උතුර - නැගෙනහිර - වතුකර ප්‍රදේශ හා ක්ෂේත්‍රයි. තම ප්‍රධාන ඉලක්කය දරිද්‍රතාවය අහෝසි කිරීම නම්, ඔහු කළ යුත්තේ ඉහත සඳහන් ප්‍රදේශ - ක්ෂේත්රවලට දැඩි සහ ක්ෂණික අවධානය යොමු කිරීමයි.
සමස්තයක් වශයෙන් මැතිවරණ ප්‍රතිපලය සැලකූ කළ, මෙය හතළිස් වසරක නව ලිබරල් ආර්ථික උපාය මාර්ග කෙරෙහි දැක්වූ ප්‍රතික්‍රියාවකි. වසර 40ක නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයේ ප්‍රතිඵලයක් වශයෙන් රට ණය උගුලේ සිරවී තිබේ. ඩොලර් බිලියන 55ක විදේශ ණයක් ද, රුපියල් ට්‍රිලියන 11ක දේශීය ණයක් ද ගොඩ ගැසී තිබේ. භාණ්ඩාගාරයේ රුපියල් නැත. විනිමය සංචිතයේ ඩොලර් නැත.
මෙම ඡන්ද ප්‍රතිඵලය ජනතාවගේ පවතින තත්ත්වයට එරෙහි ප්‍රතික්‍රියාවකි - විරෝධයකි - කෝපය ප්‍රකාශ කිරීමකි.
ලොව පුරා පැතිර යන ජාතිකවාදය (Nationalism) නව ලිබරල්වාදයට එරෙහි ප්‍රතික්‍රියාවකි. ජනතා විරෝධය, ජාතිකවාදය හා මුසුවීම පුදුමයට කරුණක් නොවේ. එය අධිරාජ්‍ය විරෝධී බවේ පිළිබිඹුවකි.