ඩිව් ගුණසේකර විසිනි෴
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ සැණින්, නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම නව තනතුරේ වැඩ භාර ගැනීමටත් පෙර, සිය මිරිහාන පෞද්ගලික නිවසට පැමිණි අමුත්තා වූයේ ශ්‍රී ලංකාවේ නේවාසික ඉන්දීය මහ කොමසාරිස්වරයා ය. දිවුරුම් දුන් සැටියේ ම ඔහුගේ පළමු අමුත්තා වූයේ ඉන්දියාවේ විදේශ ඇමැතිවරයා ය. නව ජනාධිපතිවරයා දිවුරුම් දී හමුවූ පළමු විදේශ මාධ්‍යවේදියා වූයේ ඉන්දීය අගමැති මෝදිගේ මත දරන්නා වූ ඉන්දීය මාධ්‍යවේදියෙකි. එම මාධ්‍යවේදියා එවනු ලැබුවේ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අනාවරණය කරගැනීම සඳහා ය. දිවුරුම් දීමටත් ප්‍රථම ගෝඨාභය රාජපක්ෂට ලැබුණු පළමු රාජ්‍ය ආරාධනාව වූයේ ඉන්දියානු සංචාරයක් සඳහා වූ ඉන්දීය අගමැතිගේ පෞද්ගලික ආරාධනාවයි.
ඒ ඉන්දියාව පැත්තෙන් ජනාධිපතිවරණ ප්‍රථිපලයට දැක්වූ සාධනීය ප්රතිචාරයයි.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අඩුවෙන් කථා කරන, වැඩියෙන් වැඩ කරන පුද්ගලයෙකු බව දැන සිටි ඉන්දීය නායකයෝ ජනාධිපතිවරණ ප්‍රතිඵලය කුමක්දැයි වේලාසනින් දැන සිටි බව ඉන්දියාවේ ක්ෂණික පුතිචාරයෙන් ප්රත්යක්ෂ ලෙස පැහැදිලි වන්නේ ය.
ශ්‍රී ලංකාව පැත්තෙන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවට ලබා දුන් සංඥාව කුමක් ද? නොපැකිලව හා ඍජුව නව රජයේ විදෙස් ප්‍රතිපත්තිය කවරේදැයි පැහැදිලි කළේ ය. ඒ මෙසේ ය.
- තමා අනුගමනය කරන්නේ නොබැඳි ප්රතිපත්තියයි.
- තමා කලාපයේ බල අරගලවලට නොපැටලී සිටිනු ඇත.
- 13 වන සංශෝධනයේ ඇතැම් කොටස් ක්‍රියාත්මක කළ නොහැකිය. ඒ වෙනුවට විකල්ප සොයා යෑමට තමා සූදානම් ය.
- තමා සියලු ජන කොටස්වල ජනාධිපති ය.
- උතුර - නැගෙනහරිට වේගවත් සමාජ - ආර්ථික සංවර්ධනයක් සඳහා ඉහළම ප්‍රමුඛතාව දීමට තමා සූදානම් ය.
නව ජනාධිපති නවදිල්ලියට ගියේ නිලධාරීන් සය දෙනෙකු පමණක් සමඟ ය. මැති - ඇමැතිවරු ඔහු සමඟ නොසිටියහ. ඇඳුම ද සරල ය. කථාව ද ඍජු ය.
සිරිමාවෝ බණ්ඩාරනායක රජයෙන් පසු පළමු වරට 'නොබැඳි ප්‍රතිපත්තිය' යළි භාවිතයට ගෙන එන්නේ ගෝඨාභය රාජපක්ෂ ය. මහ බලවතුන්ගේ කලාපීය බල අරගලයට තමන් නැතැයි නොසඟවා ඔහු කියා සිටියේ ය. එය ඔහු අගමැති මෝදිට ලබාදුන් ප්‍රබල සංඥාවකි. වත්මන් සමාජ සන්දර්භය තුළ නොබැඳි ප්‍රතිපත්තිය යළි ඔසවා තැබීම නව මඟකි.
ඉන්දියාව, ඇමරිකානු ජනාධිපතිගේ ඉන්දු පැසිපික් උපාය මාර්ගයේ ආරම්භක කොටස් කාරයෙකු වු බව ගෝඨාභය රාජපක්ෂ දැන සිටියහ. ඇගමැති මෝදි, තම උපක්‍රම වෙනස් කරලීමේ එළඹුමකට බල කරනු ලැබ ඇත. චීනය, රුසියාව, ඉරානය, පකිස්ථානය එක පැත්තක සිටින බව සහ ආසියානු රටවල් මධ්‍යස්ථ ස්ථාවරයක් ගනු ලබන බවත් මෝදි දනී. ඉන්දියාවට ආසියාන් සංවිධානයට ඇතුළුවීමට බල කරනු ලැබේ. ඒ ආර්ථික අවශ්‍යතාවයන් නිසා ය. චීනයේ කැමැත්ත නැතිව එය ඉටුකරගත හැකි නොවේ.
සාර්ක් සංවිධානය අකර්මන්‍ය කරනු ලැබුවේ පකිස්ථානය කොන් කර තැබීමට ය. ඒ වෙනුවට 'බිම්ස්ටෙක්' (BIMSTEC) සංවිධානය ආදේශ කරනු ලැබ ඇත.
ගෝඨාභය රාජපක්ෂ තවත් පණිවිඩයකත් ලබා දුන්නේ ය. ඒ තමා චීනය සමඟ සමීපව සිටීම ගැන කලබල නොවී කළ යුත්තේ අපේ රටට පැමිණ ආයෝජන කරන ලෙස ඉල්ලා සිටීම හරහා ය.
චීනය, රුසියාව, ඉරානය, පකිස්ථානය හමුවේ, සිරවී සිටින ඉන්දියාවට ශ්‍රී ලංකාව සමීපව තබා ගැනීමට පවතින යථාර්ථය බලකර සිටී.