Friday, 19 April 2024

 

හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ ලියයි. ෴


‘‘මහින්දට වඩා මං කැමතියි ගෝඨාභයට’’

‘‘ඇයි ඒ ?’’

‘‘එයා දේශපාලකයෙක් නො වෙන නිසා.’’

‘‘මම නං කැමති නෑ. සුදු වෑන්වලින් මිනිස්සු උස්සලා මරල දාන කාලයක් ආයෙ උදාවෙනවට මම නං කැමති නෑ.’’

‘‘හැබැයි එහෙම අතුරුදහන් වුණු කවුරුත් අහිංසක අය නෙවෙයි. රස්තියාදුකාරයො මැරයො’’

‘‘එහෙම අයට වුණත් දඬුවම් කරන ක‍්‍රමවේදයක් තියෙනවනෙ ශිෂ්ට සම්පන්න රටක. විරුද්ධ මත දරන්නා හැම විට ම රස්තියාදුකාරයෙක් මැරයෙක් විදියට දකින එක වැරදි නැද්ද?’’

ඒ ජනාධිපතිවරණයට පෙර කන්තෝරුවෙ සිදු වූ කතාබහකි. ඔවුන්ගෙන් බහුතරය උපාධිධාරිහු ය.

‘‘මාලිමාවෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හොඳයි.’’

 ‘‘ඒක ඇත්ත. ඒත් දීලා වැඩක් නෑ. ඒගොල්ලන්ට දිනන්න බෑනෙ.’’

‘‘දිනන්න කතිර ඕන. හැම කෙනා ම එහෙම හිතලා ඡන්දය නො දී හිටිය ම ඒ අයට දිනන්න බෑ තමයි. ’’

මේ කන්තෝරුවේත් ඉන් පිටත තැන් කිහිපයකදීමත් සිදුවුණු සහ කණ වැකුණු කතාවකි.

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය දෙස බලා ඡුන්දය දීමේ හුරුවක් මෙරට වැස්සන්ට නැත. එමෙන් ම ජයග‍්‍රහණයෙන් පසු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ක‍්‍රියාත්මක කිරීමේ පුරුද්දක් දේශපාලකයන්ට ද නැත.

ආයෙමත් දවසක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් විස්සෝප වූයේ ඝෝඨාභය රාජපක්ෂගෙ පුරවැසිභාවය පිළිබඳ ලේඛන අස්ථානගත ව ඇති බව කියමිනි.

‘‘ලේඛන නං මොනවද තාජුදීන්ගෙ ශරීර කොටසුත් අස්ථානගත වෙච්ච එකේ.’’

‘‘තාජුදීන් කවුද? එයාගෙ ඇති වටිනාකම මොකක්ද? ඒ වගේ ද ඝෝඨාභය.’’

රටක යහ පැවැත්ම තීන්දුවන්නේ මානව ගෞරවයත් මිනිස් නිදහසත් තහවුරු වීම මත ය. තම මතය වෙනුවෙනුවෙන් අන්තවාදි ව අනෙකාගෙ ප‍්‍රාණය නිරුද්ධ කිරීම පිළිබඳ කම්පනයක් නො නැගෙන තරමට මිනිස් සිත අධම වන්නේ මන්දැයි නො දනිමි. එමෙන් ම එවැනි අහිමි වීමක් තමන් හට සිදුවුවහොත් ඒ අහිමිවීමත් එලෙසින් ම යුක්ති සහගත කරන්නේදැයි ද නො දනිමි.

ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල කියා අවසන් වුණු ඉරිදා දින සවස, නගරයේ තැනක එක් රැුස් වූ ගැහැනු සහ මිනිස්සු පොදියක් රතිඤ්ඤා දල්වති. විශාල ශබ්දයක් සහිත තුන්හුලස් රතිඤ්ඤා හඬ දරා ගන්නට අපහසු ඇතැමෙක් ඇඟිලි ගසා සිය දෙකන් වසා ගනිති. එහෙත් ඔවුන්ගේ මුව සිනා නංවයි. මිනිත්තු පහළොවකටත් වැඩි වේලාවක් සිදු කරන ලද රතිඤ්ඤා දැල්වීමෙන් අනතුරු ව ඔවුහු ‘‘හූ‘‘ හඬ නඟන්නට වූහ. මිනිත්තු දහයකට ආසන්න කාලයක් පැවති ‘‘හූවෙන් ’ අනතුරු ව ඔවුහු විසිර යන්නට සූදානම් වූහ.

ඒ බහුතරය සතුට බෙදා ගත් හැටි ය.

ඊට පසු දින මහමඟ ඉදෙන කිරිබත් මුට්ටි ය.

ඒ ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාව ය. කන්තෝරුවේ බහුතර දෑස් රූප පෙට්ටිය මත ය. දිවුරුමෙන් අනතුරුව හෙතෙම ජනතාව අමතයි.

‘‘ සිංහල ජනතාවගේ ඡන්දයෙන් පමණක් ජනාධිපතිවරණය ජයගත හැකි බව මා දැන සිටියා.’’

රූප පෙට්ටියට මුහුණ ඔබගෙන සිටින්නෝ ප‍්‍රිතියෙන් අත්පොළසන් දෙති.

තමන් උපන්නේ දකුණේ සිංහල බෞද්ධ පවුලක බවත් උගත්තේ බෞද්ධ පාසලක බවත් කියනා විට යළි යළිත් අත්පොළසන් දෙන ඔවුන්ගේ දෑස් දිලිසෙයි.

රටක නායකයකු නො කළ යුතු, ජාතින් බෙදා වෙන්කොට සිදු කරන ලද සියුම් තර්ජනය බහුතර සිත් මහත් ලාලසාවෙන් වැළඳ ගනියි. ජනතාව තුළ රජයන අදහස පාලකයා වෙතින් මනා කොට පිළිබිඹු වෙයි.

‘‘ ජාතිවාදය කියන්නෙ විසක්. මේ පණගහලා එන්නෙ ඒ විස.’’

බහුතරයෙන් මිදී පසෙකට වූ කෙනෙක් තවෙකෙකුගේ කනට මුමුනයි.

දින කිහිපයකට පසු රාජකාරිමය අවශ්‍යතාවකට කන්තෝරුවට ගොඩවන මිනිසෙකි. ඒ ඉටු කළ නො හැකි ඉල්ලීමකි.

‘‘දැන් තියෙන්නෙ අලුත් ආණ්ඩුවක්....’‘

ඔහුගේ හඩ තර්ජනාත්මක ය.

ආණ්ඩු වෙනස්වූවාට රජයේ රෙගුගලාසි අණපනත් වෙනස් වී නැත. නීතිය කුමක් වුවත් තම අවශ්‍යතාව ඉටු කර දිය යුතු බව ඒ බහුතරය අදහතිි.

බ්‍රෙෂ්ට්ගේ වැකිය නිබොරු ය. අමන ජනතාවක් කිසි දිනෙක නිවැරදි නායකයන් තෝරා ගන්නේ නැත.

හර්ෂණී පුෂ්පමාලා ආරච්චිගේ ලියයි.


උදෑසන පාසලින් පිටත් වූ අප රන්ටැඹේ පුහුණු කඳවුරට යන විට සවස් වී තිබුණි. පුහුණු කඳවුරේ කන්තෝරුවෙන් ලද ඒ පණිවිඩය අනුව  පාසල් නිල ඇඳුමෙන් ම කන්තොරුවට ඇතුළු වූ තැන එහි වූ  තරු පැළඳි නිලධාරිනිය දුරකතනය පෙන්වූයේ ‘‘ කෝල් එකක් ’’ කියා ය. 

රිසිවරය කණට තබාගත් මම ‘‘ හෙලෝ හෙලෝ ’’ කියමි. අනෙක් පසින් කියන දේ හරි හැටි පැහැදිලි නැත. 

‘‘ කියන එක ඇහෙන්නෙ නෑනේ මැඩම් ’’ එතැන හුන් තරු නිලධාරිනියට පවසමි. එකවර මදෙස බලන ඇය ‘‘ කෝ රිසවරය අනෙක් පැත්තට හරවන්න. කන තියන්න  ඕන තැනට කට තිබ්බ ම ඇහෙන්නෙ නෑ තමයි ’’

වහා අනෙක් පසට හැර වූ තැන ළඟ උන්නා මෙන් කියන දේ පැහැදිලි ය. ඇමතුම ප‍්‍රින්සිපල් මැඩම්ගෙනි. ඒ කරදරයක් නැතිව ආවාදැයි දැන ගැනීමට ය. 

කතාව අවසන් කොට රිසිවරය තබා එන්නට හැරෙන තැන නිලධාරියගෙන් පැනයකි. 

‘‘ කැඩෙට් කෝ එක මොකක් ද? ’’

‘‘three cc  මැඩම් ’’

ලැජ්ජාවෙන් ඉහේ උකුණන් බිමට පනියි. ඇගේ මුවේ ඇඳුණේ ද සෝපහාසි සිනාවකි. three cc  නම් කොළඹ ය.

කොළඹ පාසල් යන වුන්වත් රිසිවරයේ කට කන නො හඳුනයි!

එකල දුරකතනය සුඛෝපභෝගි භාණ්ඩයක් ව පැවති යුගයකි. ගමේ දන්නා කියන ගෙයක දුරකතනයක් තිබුණේ නැත. ජංගම දුරකතන කියා දෙයක් ගැන නං අසා තිබුණේවත් නැත. පාසලේ කන්තෝරුවේ වූ දුරකතන හැරුණු කොට ගෙන විදුහල්පතිනියගේත් නියෝජ්‍ය විදුහල්පතිනියගේත් ඇස් බැල්ම වැටෙන දුරින් එල්ලා තිබූ කාසි පෙට්ටි දුරකතනයකි. රුපියල් දෙකේ කාසියකින් අවශ්‍ය පණිවිඩය දීමේ හැකියාව ඉන් ලැබුණි. පණිවිඩ දෙන්නට කියා මෙලෝ යකෙකු නැත. දෙන්නට පණිවිඩයක් ද නැත. සමහර දවසකට පාසලින් පසු පුහුණුවීම් සඳහා නවතින කෙල්ලන් ඉඳහිට දිනෙක රුපියල් දෙකේ කාසියක් දමා මොනවා හෝ නොම්බර ටිකක් ගසා අමතන්නා ව අන්දා පොඩි ආස්වාදයක් ලබයි. 

අද දවසේ බැලූ බැලූ  තැන ජංගමයෝ ය. දුම්රිය බස්රථ ඈ නො ව මහමග යන සමහර උන්ද කැලණිතිස්ස බලාගාරය මෙන් වයිරින් කරලා ය. හිත නැති බඹලොව මෙන් මඟ යන්නෝ ඇවිද්දත් පුරුද්දට ඇවිදිනවා විනා හිත ඇමතුම් මැද ය. නැත්තන් ඔබන ගමන් ය. බසයේ කෝච්චියේ හිටගෙන වුව ඉඳගෙන වුව ඔබමින් ය. බ්රේක පහරින් ඇද ව කුදු වූ කෙළිින් වුව ද ඒ එබිල්ලට නැවතුමක් නැත. ගෙදර දොර කතා බහක දී නෑ හිතවත් හමුවක දී මිතුරු ඇසුරක දී වුව පිළිතුර  ලැබෙනුයේ ජංගමයා දෙස  අයාගත් නෙතිනි.  

නිවාඩු දවසක වුව කන්තෝරුවේ වුව ජංගමයන්ට විරාමයක් නැත. රින්ගින් ටෝනය නින්නාද නංවයි.  පුදුම තරං කතා ය; නැළවිලි ය; වැළපිලි ය;  ඕපදූප ය.  එ කතා බහවල  ඇති ප‍්‍රයෝජන මොනවාදැයි නො දනිමි. 

මේ මෝඩකම්වලින් මඩිය තර කර ගන්නේ දුරකතන සමාගම් ය. ඉන්බොක්ස් එක පිරී ඇත්තේ එක එක මාදිලියේ වෙළඳ මැසේජයන්ගෙනි. හදිසියකට කෙනෙක් එවන මැසේජයක්වත් බලන්නට බැරි වෙන්නේ මේ විකාරකාරි මැසේජ් බැලිල්ල එපා වී ඇති නිසා ය. අප කැමති අය පමණක් නො ව නම පවා ඇසීමට අකමැත්තෝත් මැසේජ් එවති. ජනවාරි පළමුවැනිදාට අපේ‍්‍රල් දාහතරවැනිදාට ජනාධිපතිත් මැසේජ් එවා මුළු අවුරුද්ද ම කා දමයි. ඒක නම් මානව හිමිකම් කඩකිරීමක් තරමට ම දරුණු හිංසනයකි.  

මේ එන මෙකී නොකි මැසේජ් අතර ජුලි තුන්වැනි දා මොබිටෙල් පාරිභෝගිකයෙක් ලෙස ලද අපූරු  පණිවිඩයකි. 

‘‘ අඩුම ගාණට දවස පුරා මල් කඩන්න කෙනෙක් හොයාගන්න #771*007#diaDIAL(call  අලූත් යාලූවෙක් හොයාගන්න *STOP AD? BL SEND TO 701121529 

 මේ කියන්නේ මල් කඩන්න යාළුවෙක් හොයා ගත්තොත් අඩු ම ගාණට පැකේජ් එකක් දෙනවා කියන එක ද ඒ අය ළඟ ඇති ලැයිස්තුවකින් යාළුවන් හොයා දෙනවා කියන එකදැයි නො දනිමි. ඒ මොක වුණත් යාළුවා සැදී පැහැදී සිටින්නේ දවස පුරා ම මල් කැඩීමට ය. 

දුරකතන සමාගම්වලින් මල් කඩන්න යාළුවන් හොයා දෙන්න වෙන තරමට මේ සමාජයේ වෙසෙන්නන්ගේ් මිතුරු බැමි ලිහී ඇත්ද? මේ සමාජය සාංකාවෙන් පෙළෙන්නන්ගෙන් පිරි ඉතිරී ගොස්දැයි සිතෙයි. ව්‍යාපාරික කටයුත්තක් ලෙස දවස පුරා මල් කඩන්න යැයි කියමින් බාල මහලු වැඩිහිටි සමාජය ම නිෂ්ඵල කටයුත්තකට ඇද දැමීමට සමාගමකට ඉඩ දී බලා සිටිය යුතු දැයි සිතෙයි. 

 ඉතින් දැනුවත්ව හෝ නො දැනුවත් ව  අපේ ජීවිතත්  දුරකථනට බිලි දී අපි බලා සිටිමු ද?

 

 

- හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ -


ආච්චි අම්මාගේ ළබැඳි මිතුරියක වූ ඇය අවුරුදු 102ක් ආයු වළඳා පසුගිය දිනෙක මිය පරලොව ගියා ය. පුරපසළොස්වක පෝ දාට සිල් සමාදන් වූ ඈ බැතිමත් උවැසියක බව ඇත්තකි. පැන් වැඞීමට පෙර පැවතියේ භික්ෂූන්ගේ අනුශාසනාව ය. දිගින් දිගට ම දෙසුම ඈ ගමේ පන්සල හා පැවත් වූ සම්බන්ධතාව ගැන ය. එහිමියෝ නූපන් අඩවියක වූ අතීත විත්ති පවා දෙසතිි. හතළිහේ දශකයේ සදා නිම කරන ලද පන්සලේ දාගැබ සඳහා නිදන් කිරීමට ඇය රන්බඩු පූජා කළේ යැයි කියන තැනින් ඇරඹි කතන්දරය වයෝවෘද්ධ ව, රෝගි ව සිටින තැන ඔවුන් අරභයා පූජා කරන ලද සිවුරු පිරිකර දක්වා ම දිගු විය. දානය ඇරුණු කොට විටින් විට පන්සල අරඹයා දෙන ලද මූල්‍යාධාර ගැන ද කියැවිණ. ඉන් නො නැවතුණු එහිමියෝ ඊළඟට පාරම්බාන්නට වූයේ ඇයගේ දරුවන් ගැන ය. එය ද ඔවුන් පන්සල හා භික්ෂූන් අතර පවත්වන සම්බන්ධතාව ගැන ය; පන්සලට ලබා දෙන අනුග‍්‍රහ ගැන ය. දාගැබේ හුණු පිරියම් කිරීමේ සිට ස`ගගණ උදෙසා කරනු ලබන පුද සත්කාර පිළිබඳව ය. පැන් වැඞීමේ චාරිත‍්‍රය ඉටු කරන ලද්දේ අඩපැයකටත් වඩා වැඩි කලක් පැවති අනුශාසනාවෙන් පසු ය. එහි සිටි බහුතරයක් බුද්ධාලම්බන ප‍්‍රිතියෙනි; තම අවසන් මොහොතටත් මෙවැනි උදාරම් පුරසාරමක් අසා ගන්නට නම් කළ යුතු පෙහෙනිපත් ගැන සිත විමසිල්ලෙනි.

පන්සල අරභයා පැවති නඩු කටයුත්තක් නිසා මීට බොහෝ කලකට පෙර අපේ ගමේ පන්සල දෙකඩ වූවා මතක ය. නඩුවෙන් පන්සල වෙනත් පාර්ශවයකට අයිති වූ තැන ගමේ හුන් දායක කාරකාදීහු  එතෙක් එහි හුන් හිමියන්ට අලූතෙන් පන්සලක් ගොඩනඟා දුන්හ. එහිමියෝ ද ‘ගම හැර නො යමි‘ උපන් අධිෂ්ඨානයෙන් ම ‘සාම විහාරය’ යැයි නම් ලද අලුත් පන්සලේ වැඩ වාසයට නික්මිණ. 

එහිමියන්ට හිසට සෙවණක්  සලසාලීමෙන් නොනැවතුණ ගම්වැසි උවැසඋවැසියෝ ගම පුරා දන් සීට්ටු බෙදන්නට ද අමතක නො කළහ. පරලොව සුව පිණිස දානයේ අනුසස් කියමින් දන් සීට්ටු බෙදන්නට අප නිවසට ගොඩ වූ පින්වතුන් වෙත වචන කිහිපයකින් පිළිතුරු දුන් අම්මා කීවේ  ගමකට එක් පන්සලක් ඇති බැවිනුත් මරණින් පසු යන තැන අලුත් දානයෙන් තීරණය නො වන බැවිනුත් තමන්ට හැකියාව ඇත්තේ පුරාණ විහාරය යැයි නම් ලද පැරණි පන්සලට පමණක් දානය දීමට බව ය. 

කාලයාගේ ඇවෑමෙන් පන්සල් දෙකෙහි විරසකය නිමා වී දෙපන්සලේ ම භික්ෂුන් එක ම පැන්වැඩිල්ලට එක්වන වෙලාවට පන්සල් දෙකකට දක්වන අනුග‍්‍රහය ගැන කරන දෙසුම මිය ගිය අයට නො ව ජීවත් වන `ඥාති හිතමිතා‍්‍රදින්ගේ මානය අංක එකට ගෙන යයිි; පන්සලකට අනුග‍්‍රහයක් නො දැක්වුව හොත් තමන්ගේ පාංශුකූලයට කවර නස්පැත්තියක් වේ දෝ  යි යන සිතිවිල්ලේ අනෙකා ගිල්වයි. 

භික්ෂූන්ගේ මේ විකාරරූපි දේශනාවලින් හිස කුරුවල් කර නො ගත් උවැසියක් කීවේ ‘පාංශුකූලෙ දුන්නත් නැතත් යන තැනකට යයි’ කියා ය.

එහෙත් ආගම දහම කෙරේ බැඳුණු සිත් ඇති බොහෝ දෙනා බුදුන්ගේ දර්ශනය නො අදහති. ඔවුන්ගෙන් බහුතරයක් අත්හළ යුතු ‘මානයෙන්’ හිස් පුරවාගෙන වසති. මානය පෙරටුකොට ගත් ඔවුහු පම්පෝරි ඇසීමට මහත් සේ ලොල් වඩති. තමන්ගේ අවසන් කටයුත්තේ දී ද තමන්ගේ ගුණ වැයීම ගැන සිහින දකිති. ඒ සිහිනය සැබෑ කර ගන්නට නම් ඔවුන් සන්තකයේ බොහෝ ධනයක් තිබිය යුතු ය. ධනයක් නැතත් උපයා ගත් දෙයින් වැඩි කොටසක් පන්සලේ වැඩ වෙසෙන භික්ෂුන් අරභයා පූජා කළ යුතු ය. මුදල් නොමැති ශ‍්‍රද්ධාව පමණක් ඇති ඇත්තන්ට එය ටිකක් අසීරු ය. 

මියගිය අය නැවත ඉපදෙන්නේ ද නැද්ද යන්න මම නො දනිමි. භික්ෂූන්ගේ පම්පෝරි ඇසීමට කැමති මිනිසුන් මෙන් ම පරලොව සුගතිගාමි කොට ගැනීමේ අවංක චේතනාවෙන් ම පැන්වැඩිල්ලට හිතෛෂි වන මිනිසුන් ද අප'තර සිටින බව දනිමි. 

සියලු විඥානවාදීන් භෞතිකවාදීන් කිරීමවත් සියලු භෞතිකවාදීන් විඥානවාදීන් කිරීමටවත් බලහත්කාරය යෙදිය යුතු නැත. එය ඒ ඒ තැනැත්තාගේ ශුද්ධ අයිතියකි. එහෙත් භෞතිකවාදීන් ලෙස පූර්ණකාලීනව ජීවිතය කැප කළ මිනිසුන්ට පාංශුකූල දීම ද එක් අතකින් සාහසික ය. කාල්මාක්ස්ගේ දස් කැපිටල් කෘතිය සිංහලයට පෙරළුෑ, කොමියුනිස්ට් පාක්ෂිකයකු ලෙසත් භෞතිකවාදියෙකු ලෙසත් ජීවිතය ම ගෙවා දැමූ ජයතිලක ද සිල්වාණෝ ඒ සාහසිකත්වයට මුහුණ දුන් මිනිසෙකි. පැන්වැඩූ භික්ෂුන් හට ඔහු ගැන ගසන්නට පම්පෝරි තිබුණාදැයි නො දනිමි.

මළ මිනිසෙකට තමන්ගේ අවසන් කටයුත්ත ගැන වරණයක් නැති බව පමණක් දැන ගතිමි.

 

 

වම් ඉවුරේ වෙබ් නාදය