Sunday, 20 September 2020

බිඳෙන කැඩපත්


හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ 


‘ලියෝ ටොල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැඩපත’යැයි ලෙනින් කියා ඇත. රුසියානු විප්ලවය සිදුවන්නේ ටොල්ස්ටෝයි මියගොස් වසර හතකුත් ඉක්මවූවාට පසුව ය. විප්ලවයෙන් වසර හතකට මත්තෙන් මියගිය සාහිත්‍යධරයෙකු වෙත ඒ සා අභිමනක් ලැබෙන්නේ ඔහු විසින් නියැලි නිර්මාණාත්මක කාර්යයේ පැවති සාධනීය බව නිසා ය. දුක්ඛදෝමනස්සයන්ගෙන් පිරි පවත්නා ජීවිතයෙන් මිදීමට පීඩිත ජනයා ගෙන යන අනවරත දිවි අරගලයත්, අධික පරිභෝජනයෙන් යුතු රදලයන්ගෙ කාමසුඛල්ලිකානු දිවිසැරියත් ඔහුගේ නිර්මාණ ඔස්සේ ප‍්‍රතිනිර්මාණය වෙයි. රසාත්මකව ප‍්‍රතිනිර්මාණය වන එකී කෘති පරිශිලනය කරන්නාගේ ජීවන ධාරිතාව ද චින්තන හැකියාව ද තව දුරටත් පෘථුල වෙයි. තමන්ගේ දුර්දශාව පිළිබඳ අවබෝධඥානය ලබන එවැන්නන් පන්ති සමාජය පෙරළා දැමීමට සක‍්‍රිව පෙරට එයි. 

සාහිත්‍යකරුවාගේ මෙකී වගකීම 1917 දී රුසියාවට පමණක් නො ව අප ජීවත්වන ජාතිවාදි, ආගම්වාදි, මිථ්‍යදෘෂ්ටික, පීඩක, ජරාජීර්ණ සමාජයට ද අදාළ වෙයි. එහෙයින් සාහිත්‍යකරුවාට සමාජ වගකීමෙන් මිදීමට නො හැකිවාක් මෙන් ම බොහෝ සාහිත්‍යකරුවෝ ද එකී අරමුණත් සිත්හි තබාගෙන තම සාහිත්‍ය කාර්යයේ නිරත වෙති. නිර්මාණ ඔස්සේ රසය උද්දීපනය කරනවාක් මෙන් ම මිනිසා අනවරතව මුහුණ දෙන ඔහුගේ දුර්දශාව ද එයින් අවබෝධ කරවීමට ඔවුන්ට හැකියාව ලැබෙයි.

නමුත් ගැටලුව නම් එවැනි සාහිත්‍යකරුවකුට මතුවන්නට අවස්ථාවක් ඇත් ද යන්නයි. නිර්මාණයක් සාමාජගත වන්නේ එය මුද්‍රිත කෘතියක් ව දොරට වඩින්නේ නම් ය. නමක් නැති නිර්මාණකරුවෙකුට එවැනි අවස්ථාවක් උදාකර ගැන්ම දුෂ්කර ය. පොත් ප‍්‍රකාශනය යනු ව්‍යාපාරයකි. එබැවින් ප‍්‍රකාශකයන් අපේක්ෂා කරනුයේ ලාභ ලැබීම ය. ලාභ ලැබීමට නම් විකිණෙන පොතක් ප‍්‍රකාශයට පත් කළ යුතු ය. ආධුනිකයන්ගේ පොත්වලට අතගසා අවදානමක් ගන්නවාට වඩා නමක් ඇති නිර්මාණකරුවන්ගේ පොත් පළ කිරීමෙන් ඔවුන්ගේ අපේක්ෂාව වෙත ගමන් කිරීම පහසු ය.  නිර්මාණාත්මක පක්ෂයෙන් කෙතරම් උසස් වුවත් නැගලා නො යන පොතක් පළ කරන්නට ප‍්‍රකාශකයන්ගේ සේරිවාණිජ සිත් නැමෙන්නේ නැත. එවන් කලෙක ප‍්‍රකාශකයෙකුට මුදල් දී පොත් කවරයේ බරපැන ද තමා විසින් දරා පොතක් ප‍්‍රකාශයට පත්කරගත හැකි ය. එසේත් නැතිනම් විකල්පය කර්තෘ ප‍්‍රකාශන ය. ඒ සඳහා කර්තෘ අත මුදල් ගැවසිය යුතු ය.  

අපහසුවෙන් පොතක් මුද්‍රණය කර ගන්නා ලේඛකයාගේ ඊළඟ කාර්යය පොත ජනගත කිරීම ය. ඒ වෙනුවෙන් ශාලාවක් වෙන් කිරිම වෙනුවෙන් ද රුපියල් දහ දොළොස්දාහක් වෙන් කිරීමට කතුවරයාට සිදුවෙයි. ජාතික පුස්තකාලය ජාතියක ම ශාස්ත‍්‍රාලීය එළැඹුම් වෙනුවෙන් කටයුතු කළ යුතු ආයතනයකි. එහෙයින් මෙවැනි කටයුතුවලට අනුග‍්‍රහය දැක්වීම ද ජාතික කටයුත්තක් වෙයි. සතියේ දිනෙක නම් ඒ ශාලාව රුපියල් 9000කට ලබා ගත හැකි වෙයි. නියමිත පැය ගණන ඉක්මවා යන්නේ නම මුදල තවත් වැඩි වෙයි. සති අන්තයක් නම් මිල ඊටත් වඩා වැඩි වෙයි. ශාලාවට අමතර ව වෙනත් පහසුකම් ලබා ගන්නේ නම් ඒවාට අමතර ව ගෙවිය යුතු වෙයි. 

ලංකාවේ කැඩපත් තැනීම පහසු නැත. මිනිසාට මිනිසා සම්මුඛවෙනවාට පාලකයෝ කැමති නො වෙති. හිතන්නට හැකි ප‍්‍රජාවක් බිහිවීම තට්ටුමාරු පාලකයන්ට අභියෝගයකි. එනිසා ම ඒ වෙනුවෙන් විකල්ප දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් මැදිහත් විය යුතු ය. පොත් ප‍්‍රකාශනයත් සාහිත්‍ය කතිකා සංවාද මණ්ඩප ඇති කිරීමටත් ඔවුන් එළැඹිය යුතු ය. එයින් අදහස් කරන්නේ තම කණ්ඩායමේ හෝ පක්ෂයේ අදහස් කිසි ලෙසකින්වත් ලේඛකයා ලවා ලියවාගෙන ඒවා ජන මනසට කාන්දු කිරීම නො වේ. තමන් මුහුණ පා ඇති අර්බුදය වටහා ගන්නා මිනිසාගේ හැඟීම් හා මනෝභාව පෘථුල වීමත් ජීවිතය ඇති සැටියෙන් දකින්නට ඔහු පෙළඹවීමත් ඒ තුළින් සමාජයේ ප‍්‍රගතිශීලි එළඹීමකට මං සැලසීමත් සැබෑ සාහිත්‍යකරුවාගේ නිර්මාණ ඔස්සේ ක‍්‍රමයෙන් සිදුවෙයි. 

බිඳී යාමට නියමිත එවැනි කැඩපත් බිම නො වට්ටා මිනිසාට මිනිසා සම්මුඛ කරවීමේ තැතක් වෙත හිතක් ඇති කණ්ඩායමක අවැසිතාව බරපතළ ලෙස ඇත. එහෙත් එවැනි එළඹුමක් පෙනෙන මානයක නැත.

 

Blog Right Add

වම් ඉවුරේ වෙබ් නාදය