Sunday, 20 September 2020

මග හරින පොත!

හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ ලියයි. ෴


එංගලන්තයේ ගුරුවරියක වන රියාන් ටේ‍්‍රසි ලේඛිකාවක් ද වෙයි. when isla meets luke meets isla  සහ isla and luke# Make or Breakඇය විසින් රචිත යොවුන් නවකතා දෙකක් ය. එකී පොත් ද්වය අප හමුවුණු වෙලාවේ සහ ආදරේද හිතමු හෙමින් ලෙස සිංහලට අනුවර්තනය කරන්නී චතුපමා අබේවික‍්‍රම ය.

ලංකාවට නම් එය අමුතුම තේමාවක යොවුන් නවකතා ය. සමහරෙකුගේ හෘද ස්ඵන්දනය වේගවත් කරන්නට තරම් සමත්වන කතා ය. එහි ප‍්‍රධාන චරිත වන්නේ ලූක් සහ අයිලා නමින් යුතු අවුරුදු දහසයක යොවුන් දරුවකු සහ දැරියකි. කෘතිය පුරා ඔවුන්ගේ එදිනෙදා ජීවිතය, අධ්‍යාපනය සහ ලිංගිකත්වය ද විවරණය කරන්නේ අපූරුවට ය. තම නිවසේ දි අයිලා සමග රමණයේ යෙදුන ලූක් බරපතළ කම්පනයකට පත්වන්නේ ලූක්ගෙ මව කාමරයේ දොර විවර කිරීම නිසා ය. ඒ ගැන පසුව සිදු කරන සංවාදයේ දී ලූක්ගෙ මව මතු කරන අදහස් බොහෝ සෙයින් වැදගත් ය.  

 ලූක්ට ඇත්තේ ඒ ගැන පශ්චත්තාපයකි.

....

ඉතිං මේ සිද්ද වෙච්ච දේ. අයිලත් එක්ක මේ සිද්ද වෙච්ච දේ තමයි අම්ම අවුල් වෙන්න මං කරපු පළවෙනි බරපතළ වැඩිිහිටි ගණයේ වැරැද්ද. මට තවත් ඉවසගෙන ඉන්න බෑ. මං එයාට කතා කරන්න  ඕන.

 ‘‘ අම්මෙ,එදා දවල්, අර මේ...’’

 එයාගෙන් කිසි උදව්වක් නෑ. එයා පත්තරේට උඩින් කන්නාඩියටත් උඩින් මගේ දිහාට එබිකම් කරනවා. මට වචන නැතුව ගිහිං.

 ‘‘ අර.. අයිලයි මායි ..මේ.. මගෙ කාමරේ ඉද්දි...’’ 

 ඔන්න එයා පටන් ගන්නවා.

 ‘‘ ඔව් අර මහ දවල් ඔය දෙන්න සෙක්ස් කරකර ඉද්දි නෙ, මගෙ ගෙදර, මං ඔයාට කතා කරලා දොරටත් තට්ටු කරලා උත්තරයක් නැති තැන කාමරේ ගාවට ආවම දැක්කෙ, එදා දවල් නෙ නේද ලූක්?’’  (පිටු අංක 191*

...

‘‘ මේ.. මට ඇත්තටම.. අපිට ඇත්තටම සමාවෙන්න. අයිලා හුඟක් අවුලෙන් ඉන්නෙ, එයාට මෙහෙ එන්නවත් හිතෙන්නෙ නෑ ලූ. අනේ අම්මෙ තරහ ගන්න එපා.

 ‘‘ ඔයාට වැදගත් ම දේ තේරෙන්නෙ නෑ ලූක්.  ඕගොල්ලො ඒ ගැන ඔච්චර අපහසුතාවෙට පත් වෙනව නං,  ඕගොල්ලො ඒක නො කර ඉන්න  ඕන. වැඩිහිටියො වගේ හැසිරෙනව නං, ඒ ගැන වගකීම තමන්ට ගන්න පුළුවන් වෙන්න  ඕන. අයිලට මෙහෙ එන්න බෑ වගේ නං, මට මූණ දෙන්න බෑ වගේ නං, ඒකෙන් කියවෙන්නෙ ඔය දෙන්නා සෙක්ෂුවල් සම්බන්ධෙකට යන්න තරං මෝරලා නෑ කියන එක. නිකං හිතන්න, අයිලා ප්‍රෙග්නන්ට් වුණා නං? පොඩි එකෙක් වෙන්න හදන්න එපා. ඔයා දෙන්න බබෙක් හදන්න ලෑස්ති ද? මිස්ටර් කෙල්මන්ලට මුනුබුරෙක් හදලා දෙන්න ලෑස්තියි ද? මං හිතන්නෙ නෑ මේවා ගැන මුකුත් හිතල නැතුව මොනවද  ඕගොල්ලො කරගන්න හදන්නෙ?’’ (පිටු අංක 192)

....

‘‘...බබෙක් හදන්න වත් ලෙඩක් හදාගන්න වත්  ඕන නැති මිනිස්සු  නං චෙක් කරනව, ලෙඩක් හදාගන්න වත්  ඕන නැති මිනිස්සු නං චෙක් කරනව, ඒ නිසා  ඕගොල්ලොත් කරන්න වෙනව. ඔය දෙන්න මුලින් ඔය දෙන්නව තේරුම් බේරුම් කරගෙන ඉන්න ඕන ඔයා දන්නවද තාත්තයි මායි කසාද බැන්දෙ ඇයි කියල? ඒ අපි දෙන්න සංසාරෙ පතාගෙන ආපු නිසා වත් හොඳට ම ගැළපෙන නිසා වත් නෙමෙයි. මැතිව් මගේ බඩට ඇවිත් මාස හතරක් වෙලා තිබ්බ නිසා. අපි බැන්දෙ නැත්තං මගෙ දෙමව්පියො ලැජ්ජාවෙ මැරෙන නිසා. ඒක විනෝදයක් විතරක් නෙමෙයි ලූක්. ඔයා සෙල්ලං කරන්නෙ ඇත්ත ජීවිතේ එක්ක. මං මැතිව් හම්බුණ එක ගැන පසුතැවිලි වෙන්නෙ නෑ කවදාවත්, ඒත් මං තව පොඞ්ඩක් ඉමං එවසුව නං තව පොඞ්ඩක් හිතුවනං කියල මට හිතෙනවා. මං එවෙලෙ කරන්න  ඕන මොනවද කියලා කවුරුහරි මට කියල දුන්නනං කියලා මට හිතෙනවා. මං ඔයත් එක්ක තරහ නෑ. මට කේන්තිත් නෑ. ඔය දෙන්න ඒක එන්ජෝයි කරනව ඇර සිරියස් ඒ ගැන හිතල නැති නිසයි මට අප්සට්.  ඕගොල්ලො ආරක්ෂිතයිනං ප‍්‍රශ්නයක් නෑ, එහෙමත් නෑනෙ. ඔය දෙන්න මුලින් ඔය දෙන්නව අඳුනගන්න. ඊටපස්සෙ සෙල්ලං කරන්නෙ නැතුව වැඩිහිටියො වගේ හැසිරෙන්න.’’(පිටු අංක 192)

මේ කතාව ඊනියා සංස්කෘතික කඩතුරාවෙන් වැසුණු ලංකාවේ අම්මෙක් යොවුන් දරුවෙකුට කියන්නේ නැත. එසේ කිව යුතු යැයි සමාජයේ බහුතරයක් දෙනා අනුමත කරන්නේ ද නැත. ඔවුන්ට අනුව ලංකාව බටහිර රටවල් මෙන් සංකර නැත. 

කොයි දේත් හොරෙන්, වහලා, හංගලා, රහසින් කරන විට මාර ම සංස්කෘතිකය; සදාචාරාත්මක ය. 

අප බාල කාලයේ ද පාසල් වියේ හුන්  කෙල්ලන් ඉඳහිට තාත්තලා නැති දරුවන් බිිහි කළහ. සමහර සිද්ධිියක දෙම්විපින් ඒ බව වටහා ගන්නේ සිය දියණියගේ කුසට මාස හතරක් පහක් ගතවූවාට පසුව ය. 

අද දවස පෙරට වඩා ලෝකයට විවර ය. නිතරදෙවේලේ මාධ්‍ය තුළින් ද පෙනෙන දේ සමග දරුවන් සිටිනුයේ ද ලිංගික ප‍්‍රබෝධයකිනි. එනිසා ම ගෙදරින් දෙන්නට බැරි දැනුම පාසලින් වත් දිය යුතු ම ය. අවුරුදු 12 යනු ඊට සුදුසු ම වයස ය. ‘අපේ හතේ පොත’ දුටු මතින් සංඝ සමාජයත් ඊනියා සුචරිතවාදිනුත් කලබලයට පත්ව ඇත්තේ කුහක කම නිසා ය. පන්සල් තුළ සිදුවන ළමා අපචාර පිළිබ`ද අටුව ටීකා අවැසි නැත. පොතකින් හෝ දරුවන් දැනුවත් වන්නේ නම් අඩු වශයෙන් තමන්ගේ රැුකවරණය හෝ තමන්ට සලසා ගත හැකි ය. ඒ දැනුවත් කිරීම නවතා දමන තරමට ගොදුරු සොයන්නන්ට ද සැප ය. 

 

Blog Right Add

වම් ඉවුරේ වෙබ් නාදය