Sunday, 20 September 2020

චෝරලන්තය

හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ ලියයි. ෴


ඒ මීට ටික කලකට පෙර සිදු වූවකි. රාත‍්‍රිය ද කන්තෝරුවේ නතරව වැඩ කළ යුගයකි. වැඩිපුර කරනු ලබන වැඩ වෙනුවෙන් අතිකාල දීමනා ලැබීමට නියමිත ය. ටික දිනකට පසු සිදුවන පිපිරුමකි. සජීවි ආත්ම නො සිටිය ද අතිකාලයට අවැසි පැමිණිමේ සහ පිටවීමේ අත්සන පැහැදිලි ව ඇත. වරද කළ වුන් වරද පිළිගන්නට සූදානම් නැත. වරද නම්  වරද හෙළිිදරව් කිරීමය!

රාජකාරිය වෙනුවෙන් රාජකාරි ගමන් යතොත් ගමන් වියදම් ඉල්ලුම් කිරීමට  හැකි ය. පෑ ගණන වැඩි වන තරමට ඉල්ලුම් කළ හැකි දීමනා ද ඇත. සැබෑ පිටවීම සහ පැමිණීවේ වේලාව කීය වුවත් ගමනට සැබෑ ලෙස වියදම් වූවාට වඩා මුදලක් ඉන් ලබා ගන්නට ගමන්ගන්නෝ සමත් වෙත්.

නිවසක් හදන්නට නිවාස සැලසුමක් අනුමත කරවා ගන්නට පළාත් පාලන ආයතනයකට යා යුතුවාක් මෙන් ම අදාළ අයදුම්පත් ලබා ගැනීමේ සිට ම මුදල් ගෙවිය යුතු ය. නීත්‍යනුකූලව ගෙවිය යුතු මුදල ඇරුණු කොට සන්තෝසමක් ලෙස මුදල් ලබා නො දුන්නොත් වැඩේ සිදු වන්නේ නැත. 

 මැතිවරණ වවුචර් විගණනය වන්නේ නැත. කිට්ටුව පාත ඡන්ද පොළකට රාජකාරියට ගියත් වටවංගු පාරක් දමා තාවකාලික නවාතැනක ද ලැඟුම් ගත්තා සේ වවුචරය දමා ගාණ දික් කර ගන්නට රාජකාරියට යන්නන් මැළි වන්නේ නැත. 

ආයතනයට පරිගණක මිල දී ගැනීමේ සිට සිදු වන මිල දී ගැනීම්වලින් කීයක් හෝ මඩි ගැසීමට ලොක්කන් ද මැලි වන්නේ නැත. අවුරුදු පහෙන් පහට රජය මගින් ලොක්කන්ට දෙන වාහන බලපත‍්‍රය පහෙන් පහට ලක්ෂ ගණනකට විකුණා ගන්නට ද ඔවුන්ට හැකි ය. පහෙන් පහට වාහන මාරු කරනවාට වඩා එක අතකින් එය නරකත් නැත. රජයෙන් අනුග‍්‍රහ පිටුබල දුන් පමණින් නාස්තිකාර ලෙස වාහන මාරු කළ යුතුත් නැත.  

ලොක්කන් නිල සහ නො නිල වශයෙන් ලබා ගන්නා මූල්‍ය අනුග‍්‍රහ තුළ සාපේක්ෂව සොච්චමක් ලබා ගන්නා පොඞ්ඩෙක් පොඩි සොරකමක් කළාට කමක් නැත. ඒ බහුතරයක් පොඞ්ඩෝ හිතන හැටි ය. එහෙත් ලොක්කන්ගේ නිල හෝ නො නිල ආදායම අනෙකුන්ට ජනතා බදු මුදල් සොරකමට විවර කර ඇති කවුළුවක් නො විය යුතු ය. 

ඒත් ඒ රාජ්‍ය සේවයේ හැටි ය. බහුතරය දැඩි බෞද්ධයන් ය. ‘‘ අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාදියාමි.’’ දෙවන සිල් පදය ඔවුන් වරදින් ගළවනු ඇත. 

කන්තෝරු යාමට ප‍්‍රමාද වූ දිනකි. වරුව කෙටි නිවාඩුවක් දක්වා අඩු කර ගැනීමට සිතා දුවන දිවිල්ල දකින අසල්වැසියකු පවසන්නේ කලින් වෙලාව දාලා නිවාඩුව මගෑර ගැනීමට උපක‍්‍රමයක් සකසා ගන්නා ලෙසට ය. 

දරුවන් ඉපදෙන්නටත් මත්තෙන් පදිංචිය වෙනස් කොට ‘‘හොඳ’’ පාසලකට ළමුන් ඇතුළත් කිරීම සඳහා කූටලේඛන සකසන වැඩිහිටියන් කොතෙකුත් මා දැක ඇත. 

138 බස්රථයේ ඉතිරි මුදල් රුපියල දීමට මැළිව මාරු කාසි නැති මගීන්ට කඩා පනින බස් කොන්දොස්තර මාකුඹුරේ පිහිටි බෝ රුක අසල ‘පින් පෙට්ටියට‘ පඬුරු දමා දොහොත් මුඳුන් දී වැඳ වැටීම නිතර දකින දසුනකි. 

සොරකම ආගමින් මුවා කොට පව් සෝදා හෘදය සාක්ෂියට අවනත කරවා ගැනීමට ඔවුහු සමත් වෙති.

සොරකම් කිරීමත් ඊට පිටුබලය දීමත් මෙසිරිලක්වාසීන්ට සාමාන්‍ය දෙයකි. දේශපාලකයෝ මහජන මුදල් රිසි ලෙස සොරකම් කරති. එහෙත් එවැනි සොරුන් තමන්ගෙන් වෙන්කොට දකින්නට බහුතර පුරවැසි සොරුන්ට නො හැකි ය. සුනාමි සොරා රටේ ඉහළ ම පුටුවේ තැබීමට පුරවැසියන් තීන්දු කරන්නේත්  සිරිලිය සෙරට දඬුවම් කිරීමට අනෙක් පස සොර නඩය මැලිවන්නේත් සියලු සොරුන් රජුන් කිරීමට පුරවැසි අනුමැතිය ලබන්නේත් බැඳුම්කර සොරු හෙළි නො කොට ම පාර්ලිමේන්තු සැසිය අවසන් වන්නේත් සොරුන්ට සොරුන්ගේ ඇති ළබැඳියාව නිසා ය.   

 සොරුන් කිරුළ දරනා කල සොරුන් අල්ලා ගැනීමට දිවා රෑ වෙහෙස වූ මිනිසුන් බහුතර පුරවැසියන් ඉදිරියේ ජෝකර්ලා වීම  මෙහෙව් චෝරලන්තයක් තුළ නො වැළැක්විය හැකි ය.

 

 

 

 

Blog Right Add

වම් ඉවුරේ වෙබ් නාදය