- සඳුන් ප්‍රියංකර විතානගේ -
ප්‍රධාන මාධ්‍යයන්වලත් විශේෂයෙන් සමාජ මාධ්‍ය අවකාශයේත් පේ‍්‍රමකීර්ති ද අල්විස් කලකරුවා, සන්නිවේදකයා ගැන නැතක් ලියැවෙනු දක්නට අසනට ලැබෙයි. මරා දමා වසර 30කට පසුවත් රාව නංවන කීර්තියක් ඔහු උපයා-සපයා ගෙන ඇත්තේ කෙලෙසක ද?
මෙකරුණ ගැන අවධානය යොමනු වටින්නේ පේ‍්‍රමකීර්ති ද අල්විස් නියැළී සිටි ක්ෂේත්‍ර එදා මෙන් නොව අද බොහෝ සෙයින් පරාභවයට ගොස් ඇති නිසා ය. ගීත සාහිත්‍යය ද නිවේදන කාර්යය ද අතිශය දරිද්‍රතාවකට ඇද වැටී තිබේ. ප්‍රවීණ මාධ්යසුරුවෙකු වන කරුණාරත්න අමරසිංහයන් පසුගිය දා පවසා තිබුණේ ‘වර්තමාන නිවේදකයන්ට අණ්ඩකෝෂ ද නිවේදිකාවන්ට ඩිම්බකෝෂ ද තිබෙන මුත් අත්‍යාවශ්‍ය වන වාග්කෝෂය ඔවුනට නැති’ බවයි. ගී සාහිත්‍ය ගැන ද එසේ ම ය. රොඩු බොඩු නැතක් අතර මැණිකක් හමුවෙන්නේ ඉඳහිට කලාතුරකිනි.
විවිධාකාර මූලාශ්‍ර ඔස්සේ පේ‍්‍රමකීර්තිව කියවාගන්නට වෑයම් කරද්දී මුලින් ම හමුවන්නේ අත්තුංකංසනයෙන් පරවම්භනයෙන් පිරී නොගිය සරල සැහැල්ලු සහ ඍජු මිනිසෙකි. යථාවාදී තථාකාරී අයෙකි. එවැනි සද්චරිත ලක්ෂණ පැනනගින්නේ ආත්මාඩම්බරයෙන් වගාඩම්බරයෙන් නොකිළිටි වුණු මිනිසුන් අස පමණි.
නිවේදනයේදී ඔහුගේ බාධාවකින් තොරව ගලා ආ වාග් චිත්‍ර මවන වදන් පෙළ කවර නම් සතතාභ්‍යාසයක් ඇසුරේ නිපන්නක් ද? පැරණි චිරසම්භාව්ය පොත් පත් ඇසුරේ උපන්නක් ද? විවිධ පැහැගත් මිනිසුන් ඇසුරේ උපන්නක් ද? එතරම් විශිෂ්ට පද ගැලපුම් ගලා පැමිණි උල්පත කොතැනකදැයි සැමදා විපිළිසර වෙමි. ඔහුද ගී ලියූ ‘දොස්තර හොඳ හිත’ හි එන සතුන්ට කතා කරන රහස මෙන් මනුසතුන්ට මෙතරම් බරැතිව කතා කරන්නට හැකි ඔහු ස`ගවාගත් රහස ගැන සැමදා වද වෙමි.
රූපා ඉන්දුමතී සහ මල්කාන්ති නන්දසිරි ගයන්නට යොදාගත් ගීතය අනුමත වී නොතිබුණ මොහොතක පටිගත කිරීමේ අවස්ථාවට ටිකකට කලින් ගුවන්විදුලියේ බිත්තියක කොළය තබා පේ‍්‍රම් ඔවුන්ට ලියා දුන් යුග ගීතය පේ‍්‍රමකීර්තිගේ පළමු ගීතය යි. මෙසේ ගීය ලියනවා දුටු මඩවල එස්. රත්නායක පසුව පේ‍්‍රම් කැඳවා කියා තිබුණේ ටිකක් පිළිවෙලට ගීත ලියන කටයුත්ත කරන ලෙසයි.
වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවාරච්චි, එච්.ආර්. ජෝතිපාල, ප්‍රියා සූරියසේන, සුනිල් එදිරිසිංහ, ත්‍රී සිස්ටර්ස්, ෆ්‍රෙඞී සිල්වාගෙන් නොනැවතී එම්.එස්. ප්‍රනාන්දුද හරහා පැතිරීගිය ඒ පද ලාලිත්‍යය පැමිණියේ කොතැනින් ද?
වික්ටර්ගේ මිල්ටන්ගේ ප්‍රකට ගැයුම් අතර සැඟව යා නොදී සාකච්ඡාවට බඳුන් කළ යුතු
තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා
වැනි ජෝතිට-එම්.එස්.ට ‘මරුවා සමග වාසේ’ට ලියූ ගී ආදිය ද තිබේ. සන්දර්භගතව ලියා ඇති මේ ගී එතැනට ගැලපෙන මනහර ලෙස යෙදූ යෙදුමෙන් හැඩ වෙයි. එම්.එස්. ම ගයන ‘ඇරපන් සොපියා දොර ජෙමා මම’ ගීයද එවැන්නකි. එසේ ම හින්දි ගී තනුවකට ‘ශාන්ති’ චිත්‍රපටය වෙනුවෙන් ලියූ ‘කවුද ඔබ කවුරුන්දෝ-මලක පිනිබිඳුවක් දෝ’ ගීය ද පේ‍්‍රමණීය සුසංයෝගයකි. ගීය ගයමින් එහි රඟන්නේ ද ජෝතිපාල ම ය.
‘මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි’, වැනි ගීයක් ද ‘සඳ කැන් වැසිලා’ වැනි ගීයක් ද රචනා කරන අතර ‘තැටිය මැද්දෙ කළු කරාපු’ සහ ‘ඇරපිය සොපියො දොර’ ‘පාන්කිරිත්තා’ වැනි ගී රචනා කරන්නට ඔහුට තිබූ හැකියාව විස්මය උපදනසුළුය. මෑත කාලයේ අතිශය විශිෂ්ට ගී නිර්මාණය කළ අප පරපුරේ ගීරචකයන් දෙදෙනෙකුගෙන් දිනක් මම එම්.එස්. ගැයූ ආකාරයේ සිංහල පොප් ගීයක් ලිවිය හැකි දැ යි විමසුවෙමි. ඔවුන් දෙදෙනා ම කීයේ එය ඉතා දුෂ්කර කාරියක් බවයි. පේ‍්‍රම් ලකුණක් වන්නේ එබැවිනි.
විවිධ පැහැයෙන් හැඩ කළ මේ කෙටි නමුත් ජනකාන්ත කලා ජීවිතය කියවාගත යුත්තේ කුමක් සඳහා ද? මේ ලිපිය පුරා ප්‍රශ්නාර්ථ නගන කරුණු සොයා පාදා ගත යුත්තේ පේ‍්‍රමකීර්තිගේ යශෝරාවයේ මූලය යි. එවැන්නෙක් බිහි වීමේ පදනමයි. අඩු වැඩි වශයෙන් ඊට සමාජ ආර්ථික දේශපාලන කරුණු ද බලපානා බව සැබෑ මුත් ඔහු විශේෂිතයකි. දුර්මුඛව ඇති ගීපද සාහිත්‍ය වැනි ක්ෂේත්රයක් නගා ගත හැකිවන්නේ එවැනි පර්යේෂණවලිනි. නලාකරුවන් නොවන කලාකරුවන් නිර්මාණය කර ගත හැකි වන්නේ එවැනි වෑයම්වලිනි.