Thursday, 02 July 2020

කුපාඩි දේශපාලන සංස්කෘතියට තිත තබමු

ඩී. කේ. ජිනදාස


අපේ රට තුළ 1977 වසරෙන් ඇරඹියේ අවිචාර සමයකි. සියල්ල විවෘත කොට ඇරඹි විවෘත ආර්ථිකයත් සමග අපේ සමාජ හර පද්ධතීන් මුළුමනින්ම විනාශය කරා ගමන් කළේය. පළමුව එතෙක් පැවති ජනරජ ව්‍යවස්ථාව හකුළා දමා ඒ වෙනුවට එක් තැනකට බලය කේන්ද්‍රගත කොට ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරනු ලැබීය. ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ කිසිදු සමාජ කථාබහකට ඉඩ නොතබා දවසෙන් දෙකෙනි. ඒකාධිපති ව්‍යවස්ථාවට එරෙහි එදා හඬ නැගුවේ මෙරට වමේ ව්‍යාපාරයයි.


ඒකාධිපති ව්‍යවස්ථාවත් සමග රට තුළ වර්ධනය වූ කුපාඩි දේශපාලන සංස්කෘතියේ පලවිපාකයන් එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ අප අත්විඳිමින් සිටිමු. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වරක් ප්‍රකාශ කළේ තමාට ගැහැනියක පිරිමියෙකු කිරීම හැර වෙන ඕනෑම දෙයක් කිරීමට හැකි බවයි. ඒ ඔහු ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ක්‍රමයේ බල පරාක්‍රමයයි. අද වන විට අපි රටක් ලෙස සියලූ අතින් අර්බුදයේ අභිමුඛයටම තල්ලූ වී ඇත. ණය අර්බුදයෙන් ඇරඹෙන ආර්ථික අර්බුදය, සමාජ අර්බුදය ආදී කොට සියලූ ක්ෂේත‍්‍රයන් තුළ දැකිය හැක්කේ එකම අර්බුදයකි. එක කඩතොල්ලක් වසා දමන විට තවත් කඩතෝ‍ලූ රැසක් නිර්මාණය වීමට තරම් සමාජ අර්බුදය උග්‍රය. ජාතීන් අතර අසමගිය ඔඩු දුවා ඇත. එය හිඟන්නාගේ තුවාළය මෙන් හැම පාලකයාම තම පැවැත්ම පිණිස යොදා ගනිමින් ඇත. ගෙවී ගිය දශක හතර තුළ ඇති නැති පරතරය විශාල ලෙස ප්‍රසාරණය වී ඇත. රටේ ජාතික ආදායමෙන් 55%ක් භුක්ති විඳින්නේ ජනගහණයෙන් 20%ක් වූ ධනපති පංතියේ අතළොස්සක් දෙනෙකි. දිළිඳුභාවය, රැකියා වියුක්තිය, සමාජ අසමානතවය මුළු සමාජයම වෙළාගෙන ඇත. රට තුළ නාස්තිය, දූෂණය, අක්‍රමිකතා සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. පාලකයින් පිළිබඳව ජනතාවගේ විශ්වාසය සියයට සියයකින් පළුදු වී ඇත. ප්‍රමුඛතා හඳුනා නොගත් ඇතැම් සංවර්ධන ක්‍රියාවන් මුහුදට ගසාගෙන යමින් තිබේ.


රට වැසියන් මෙවර මහ මැතිවරණයට පිවිසෙන්නේ මෙවැනි වටපිටාවක් තුළය. ජේ.ආර්ගේ ඒකාධිපති ව්‍යවස්ථාව ප්‍රකාරව නිර්මාණය වූ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ ප්‍රයත්නයන් තිබුණද එය සිදු නොවීම අභාග්‍යයකි. මුළු දිස්ත‍්‍රික්කයක් එකම ඡන්ද කොට්ඨාසයක් බවට පත් කරමින් ජනතාවට වග කියන මන්ත‍්‍රීවරයෙකු පත් නොවන අරුම පුදුම ඡුන්ද ක්‍රමය අපේ දේශපාලන සංස්කෘතිය අශීලාචාර ප්‍රවේශයකට ඔසවා තැබීමට සමත් වී ඇත.
හෙට අනිද්දා වන විට මේ අශීලාචාර ක්‍රමය තුළ සිදුවන බොහෝ දේ අපට මනාව දැන හැඳිනගැනීමට හැකි වනු ඇත. අපේ රටේ මිනිසුන් තුළ තිබූ බොහෝ වටිනාකම් මනාප ඡන්ද ක්‍රමයට ගසාගෙන ගොස්ය. මනාප ක්‍රමය සමාජ
අසමගියට හේතු වී ඇත්තේ ඉතා විසකුරු ස්වරූපයකිනි. පක්ෂ තුළ අසමගිය, පක්ෂ අතර අසමගිය ඉතා අශිෂ්ට ලෙස ඉදිරි කාලයේ රට හමුවේ ප්‍රදර්ශනය වනු ඇත. මෙයට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ ප්‍රතිලාභ දේශපාලනයයි. මෙම ප්‍රතිලාභ දේශපාලනය විසින් සියලු මිනිසුන්ගේ ප්‍රතිපත්තිගරුක බවට එල්ල කර ඇත්තේ මහත් අභියෝගයකි. ප්‍රතිපත්තිය පසෙකලා ප්‍රතිලාභ පිණිස මිනිසුන් එක පෙළකට හැරී ඇත්තේ දරිද්‍රතාවය හා සමාජ අසමානතාවය ඉහළ තලයකට පැමිණීම හේතුවෙනි. රැස්වීමට පැමිණි විට තෑගි වව්චරයක් ලබා දෙන ඡන්ද අපේක්ෂයකයින් සිටින තත්වයක්ද බලය නිලය හා බලවතුන්ට සමීප මිනිසුන් සොයා දුගියා පෙළ ගැසෙන සමාජ වටපිටාවක් නිර්මාණය වී ඇත. එය ගෙවී ගිය දශක පහක් තුළ අප ලබා ඇති සමාජ සංවර්ධනයයි. මේ අශීලාචාර මනාප ක්‍රමය පදනම් කරගත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අපේ රටේ ප්‍රධාන පක්ෂ කරන කල්මැරීමට තිත තැබිය යුතුය. එය කළ හැක්කේ මෙරට සමාජ සංවර්ධනය පිළිබඳ යහපත් දැක්මක් ඇති පාර්ලිමේන්තු නියෝජනයක් තුළ පමණි. මෙවරද ඡන්ද සටන දෙස බලන විට අපට පරණ පුරුදු මුහුණු බහුලව දැකීමට හැකි බවය. ඒ අතර බලාපොරොත්තු සහගත මුහුණු රැසක් ද පෙනෙන්නට ඇත.


අද අවශ්‍ය වන්නේ රට හමුවේ ඇති අර්බුදයන්ට බුද්ධිමය ප්‍රවේශයක් දිය හැකි දක්ෂයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවකි. හොරුන්, ජාවාරම්කාරයින්, මොළේ කළඳක් නැති අපතයන් පාර්ලිමේන්තුවට පිටත් නොකළ යුතු යැයි පොදු මතයක් ජනතාව තුළ ප්‍රබලව ඉස්මතුව ඇත. එය යහපත් වූ වර්ධනයකි. ප්‍රතිලාභ පසෙකලා යළි ප්‍රතිපත්තිගරුක මිනිසුන් පෙරට ගැනීමෙන් මිස මේ කුපාඩි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අන් මගක් නොමැත.

 

2020 ජූනි 28 ඇත්ත පුවත්පතේ පළ වූවකි

Blog Right Add

Popular Tags

වම් ඉවුරේ වෙබ් නාදය