ඩී. කේ. ජිනදාස
මහා පරිමාණ සහල් මෝල් හිමියන් අද වන විට සහල් වෙළඳපොල සිය පාලනයට නතු කර ගෙන හමාරය. අද ඔවුන් සහල් මිල තීරණය කරන තීරකයන්ය. මහා පරිමාණ සහල් මෝල් හිමියන් සියලූ දෙනා පෝෂණය කොට උස්මහත් කළේ 1977 මෙපිට මෙරට පාලනය කළ සියලූම ආණ්ඩු විසිනි. තවත් විස්තර කළොත් ඔවුන් උස් මහත් වූයේ රාජ්‍ය බැංකු හරහා අඩු පොලියට ලබා දුන් ණය කන්දරාවද හේතු කොට ගෙනය. මෙම මහා ප්‍රමාණයේ සහල් මෝල් හිමියන්ට මෙරට සහල් වෙළඳපොලේ ඒකාධිකාරිත්වය හිමිවන්නේ 1977 මෙපිට ආණ්ඩු සියල්ලම මෙරට වී නිෂ්පාදනය හා සහල් සැකසුම් කර්මාන්තයේ සිය ව්‍යවසායකත්වය අත්හැරීමෙන් බව පිළිගත යුතුමය. එයට සැබෑ හේතුව වන්නේ 1977 වසරේ විවෘත වන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ව්‍යවසායකත්වය විනාශ කොට පෞද්ගලික ව්‍යවසායකත්වය ඉහළ ඔසවා තැබීමය.
ඉකුත් දශක පහකට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවේ වී වගාව දුර්වල කිරීමේ ක්‍රියාදාමය අඩු වැඩි ලෙස සක්‍රීය විය. රවි කරුණානායක මුදල් ඇමති සමයේ ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය ලාභදායී නොවන බව ප්‍රකාශ කොට තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. වී වගාව හා බැඳුණු ගැටලූ නිරාකරණය කරනු වෙනුවට බොහෝ දෙනෙක් කළේ ඉවත බලාගෙන සිටීමයි.
කොරෝනා උවදුරත් සමග දේශීය කෘෂිකර්මාන්තය පිළිබඳව නව ප්රබෝධයක් ඇති වී තිබේ. සමාජ කථා බහෙන් ඈත්ව තිබෙන වී නිෂ්පාදනයේ හා සහල් සැකසුම් කර්මාන්තය තුළ පවත්නා සැබෑ ගැටලූ පාලකයින්ගේ සිට සියලූ බලධාරීන්ගේ ක්ෂණික අවධානයට ලක් විය යුතුමය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පදනම කෘෂිකර්මාන්තයයි. රට තුළ වී නිෂ්පාදනය හා සහල් සැකසුම් කර්මාන්තයටත් ඇත්තේ දිගුකාලීන ඉතිහාසයකි. රට වැසියාගේ ප්‍රධාන ආහාරය බත් වන අතර රටේ ආහාර සුරක්ෂිතතාවය පදනම් වී ඇත්තේ වී වගාව මතය. පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ගොවිතැන හා ගොවි ජනතාව පිළිබඳවත් රට සහලින් ස්වයංපෝෂිත කිරීම පිළිබඳවත් කතාබහක නියැලූණි. එය යහපත්ය.
අද වන විට ශ්‍රී ලංකාවේ මුලූ වී නිෂ්පාදනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් එනම් 40%ක ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වය හේතු කොට සත්ව ආහාර සඳහා යොදා ගනු ලබයි. එසේ නොවන්නට අප රට තුළ කිසිසේත් සහල් හිගයක් ඇතිවීමට හේතු සාධකයක් නැත. ඇති විය හැක්කේ සහල් අතිරික්තයකි. මේ නාස්තිය නිසි පරිදි කළමනාකරණය වන්නේ නම් දකුණු ආසියාවේ අනෙකුත් රටවල මෙන් අප රටටද සහල් අපනයනය කිරීමට හැකිවනු ඇත.
ප්‍රශ්නගත මෙම තත්වයට ප්‍රධාන හේතුව අස්වැන්න නෙළීමෙන් පසු වී තොග නිසි පරිදි වේළා ගබඩා නොකිරීමයි. අස්වනු නෙළීමෙන් පසු ඒ ඒ පළාත්වල දී වීවල තෙතමනය 20% සිට 28% දක්වා වන සහ ඊට ඉහළ අගයක්ද ගනී. වැසි කාලවලදී මේ තත්වය වඩාත් සංකීර්ණ වේ. වී තොග කල්තබා ගැනීම සහ සහල්වල ගුණාත්මක තත්වය ඉහළ අගයක පවත්වා ගැනීමට හේතු වන ප්‍රධාන සාධකය වී ප්‍රමිතිගතව වියළා ගැනීමයි. විද්‍යාත්මක ලෙස වී තොග වියළා ගැනීම යනු වී ඇට සියල්ල එක් ප්‍රමාණ අගයකට වේළා ගැනීමයි. වී තොග ගබඩා කිරීමටත් ඒවා සහල් බවට පත් කිරීමටත් විවල තෙතමනය 14%කප්රමාණයකට වේළා අඩුකොට සකස් කර ගත යුතුය. අප රට තුළ වී නිෂ්පාදනයේ යෙදෙන ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන හා කේන්ද්‍රීය ප්රශ්නය බවට ප්‍රමිතිගතව වී වේළා ගැනීමේ ප්රශ්නය ඉස්මතුව ඇත. මේ ප්රශ්නය බලධාරීන්ද නොදන්නා ලෙස කල් මැරීම එක්තරා කුමන්ත්රණකාරී පිළිවෙතක් අනුගමනය කිරීමක් බව කරුණු අධ්‍යයනයේදී පෙනී යන්නකි. දකුණු ආසියවේ මෙම ප්රශ්නය ඉතා ක්‍රමවත්ව කළමනාකරණය කර ගැනීමට වී නිෂ්පාදනයේ යෙදෙන ප්‍රධාන රටවල් සියල්ලම සමත්ව ඇත. මෙම ප්රශ්නය ජයගැනීමට දකුණු ආසියානු අත්දැකීම අපට ඉතා වැදගත් වනු ඇත. ඔවුන් මෙම ප්රශ්නය ජයගෙන ඇත්තේ වියළීමේ තාක්ෂණය (Drying technology) වැඩි දියුණු කර ගැනීමෙනි. එම රටවල තත්වයෙන් උසස් වී වියළීමේ යන්ත්‍ර වී වියළිමේ කාර්ය සඳහා යොදවා ගනු ලබති. වී වියළීමේ තාක්ෂණය වැඩි දියුණු කළ ප්‍රධාන රට වන්නේ දකුණු කොරියාවයි. වියළීමේ තාක්ෂණය පිළිබඳ ඔවුන්ගේ පර්යේෂණ දශක තුන හතරක කාලයක සිට දියුණු අඩියකට පත් කර ගෙන ඇත. ඔවුන් එකවරකට ප්‍රමිතිගතව වී ටොන් දෙකේ සිට වී ටොන් 500 දක්වා වේළා ගැනීමට හැකි වියළීමේ යන්ත්‍ර නිපදවීමට සමත්ව ඇත. දකුණු ආසියානු කලාපයේ තායිවානය, ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවල සහල් සැකසුම් කර්මාන්තය ඉහළ තත්වයට පත්වීමේ ප්‍රධාන හේතුව නව තාක්ෂණය භාවිතාවට ගැනීමය.
අප රටතුළ අස්වනු නෙළීමත් සමග වී තොග ප්රමිතිලතව වේළා ගබඩා කිරීම සඳහා තවමත් ඇත්තේ සාම්ප්‍රදායික මට්ටමේ පසුගාමී ක්රමවේදයන්ය. වී අස්වනු නෙළන කාලයට වී තොග මිලයට ගෙන එක් රැස් කරන්නෝ බොහොමයකි. ඒ සඳහා ක්රියාත්මන වන ප්‍රධාන පාර්ශ්වකරුවෝ මෙසේය.
රාජ්‍ය අංශය
වී අලෙවි මණ්ඩලය, සමුපකාර සමිති, දිසාපති
පෞද්ගලික අංශය
මහා පරිමාණ වී මෝල් හිමියන්
මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියන්
සුලූ පරිමාණයේ වී මෝල් හිමියන්
වී තොග එක් රැස් කර විකුණන්නන්
ඒ අනුව රාජ්‍ය අංශයේ වී මිලදී ගන්නන් හා ගබඩා කරන්නන් මිලදී ගන්නා වී තොග සාම්ප්‍රදායික මට්ටමින් ප්‍රමිතියෙන් වියළා ගත් වී තොග ය. ඒ අනුව ඉක්මනින් ප්‍රයෝජනයට නොගතහොත් එම වී තොග බැක්ටීරියා ආසාදනයන් සක්‍රීය වීම තුළ ආහාරයට නුසුදුසු වේ. වී වේළීමේ ප්රශ්නය බලවතුන් අමතක කොට දමා ඉවත බලා සිටීමෙන් නිසි ප්‍රයෝජන ගනු ලබන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ය. තෙත වී මිල රු. 50 දක්වා ඉහළ දැමූ තත්වයට පෙර ඔවුහු ජයටම ගොවීහු සූරා කෑහ. මෙම මහා පරිමාණ වී මොල් හිමියන් පසුගිය කාලය තුළ අස්වනු නෙළීමත් සමග කුඹුරටම ගොස් ගොවීන්ගේ තෙත වී මිලයට ගන්නේ රු.27 සිට රු.35 මිලයකටය. එසේ මිලදී ගන්නා විශාල වී තොග ඔවුන් සතු විශාල ප්‍රමාණයේ වී වියළන යන්ත්‍ර (Dryars) වලින් ප්‍රමිතිගත වේළා ගබඩා කරගත්තෝය. ඒ අනුව ඔවුන්ගේ සහල් නිෂ්පාදනද තත්වයෙන් උසස්ය. ඔවුන්ට අද තක්කුමුක්කු වී ඇත්තේ තෙත වී රු.50 සහතික මිල සීමාවකට ඔසවා තැබීම හේතුකොට ගෙනය. වී අලෙවි මණ්ඩලයට හෝ සමුපකාර සමිතිවලට තත්වයෙන් උසස් වී වියළන යන්ත්‍ර ඇත්තේම නැති තරම්ය. ඒ අනුව මහා පරිමාණ වී මෝල් හිමියන් හැරුණු කොට මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියන් අතළොස්සකට වියළීමේ යන්ත්‍ර තිබුණද ඔවුන්ට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැත.
කෘෂිකර්මාන්තය අදට ගැලපෙන සේ කාර්මීකරණය නොකොට ඉන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වන බව අපේ බලධාරීහු තවමත් කල්පනා නොකරති. යන්ත්‍රානුසාරයෙන් අස්වැන්න නෙළීමට ගොවි ජනතාව පුරුදු පුහුණු වීම වැදගත් කටයුත්තකි. අද වන විට යන්ත්රනුසාරයෙන් නෙළාගනු ලබන අස්වැන්න වියළා ගැනීම අභියෝගයක්ව ඇත. සාම්ප්‍රදායික ක්‍රමවේද මහා පරිමාණ වී නිෂ්පාදන කර්මාන්තයට කොහෙත්ම නොගැළපෙන්නකි. උතුර නැගෙනහිර පළාත්වල බහුල ලෙසත් දිවයිනේ අනෙකුත් පළාත්වලත් වී වේළීමේ ක්රියාවේ යෙදෙන අපේ ගොවි ජනතාව බලධාරීන්ට නොපෙනෙනවා නොවේ. අපේ වී නිෂ්පාදනය අපතේ නොයා සියයට සීයක් රැකගත හැකි වන්නේ වියළීමේ තාක්ෂණය වැඩි දියුණු කර ගැනීමෙනි.
මුලූ දකුණු ආසියානු කලාපයේ අනෙකුත් සියලූ රටවල පසු අස්වනු තාක්ෂණය ශක්තිමත් කිරීමට පියවර ගන්නා තත්වයක් තුළ අපේ රටේ ගොවි ජනතාව තවමත් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් බැහැර කිරීමට බලධාරීන් කල්පනා නොකිරීම අභාග්‍යයකි. කෘෂි නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවය ඉහළ තලයකට ඔසවා තැබිය හැක්කේ පසු අස්වනු තාක්ෂණික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමෙනි. වියළීමේ තාක්ෂණය ඉන් ප්‍රධානය. දකුණු ආසියාතික රටවල ගොවි ජනතාවට ලබා දෙන වියළීමේ පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගැනීම එම රටවල ආණ්ඩුවල ප්‍රධාන කාර්භාරයක්ව ඇත. අපේ රටේ සම්ප්‍රදායික ලෙස වී වියළන කමත් වෙනුවට එම රටවල ඉතා උසස් තත්වයේ වී වියළන යන්ත්‍ර විශාල ප්‍රමාණයක් සවි කර සකසන ලද වී වියළීමේ මධ්‍යස්ථාන (drying center) ඇති කොට ඔවුන්ගේ අස්වනු ප්‍රමිතිගතව වේළා ගැනීමේ පහසුකම් යොදා ඇත. ඒ අනුව මුලූ වී නිෂ්පාදනයම ආරක්ෂා කොට ගැනීමට පියවර ගෙන ඇත.
පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනත් රටවල වියළීමේ තාක්ෂණික ක්‍රම ඇති බවත් එය මෙරටට හඳුන්වා දීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිළිබඳ යම් අධ්‍යයනයකින් පසුව විය යුතුය. ඉදිරියේදී වී හා සහල් නිෂ්පාදන කර්මාන්තය සඳහා වන රාජ්‍ය මැදිහත්වීම වැඩි කොට අපතේ යන වී අස්වැන්න ආරක්ෂා කර ගනිමින් නව තාක්ෂණය එක්කිරීමට වහා පියවර ගත යුතුය. සහල් මාෆියාව නැති කළ හැක්කේ එවැනි විප්ලවීය පරිවර්තනයන් කෘෂිකර්මාන්තය තුළ ඇති කිරීම තුළින් පමණි.
2020 ජූනි 07 ඇත්ත පුවත්පතේ පළ වූවකි.