විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, MSc, MD (Com. Med.) FRCP (Glasg.)
ජාත්‍යන්තර කටයුතු පිලිබඳ ලේකම් - ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
පසුබිම කෙටියෙන්
නොදන්නා හේතුවක් නිසා නියුමෝනියාව පැතිරීම මුලින්ම වාර්තා වූයේ 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයේ දීය. 2020 ජනවාරි 07 වන දින එය “නව කොරෝනා වෛරස්රෝගය ලෙස හඳුනා ගන්නා ලදී.ජනවාරි 03 වනදා සිට චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ අදාළ රටවලට නව රෝග තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් දැනුම් දෙන්නට ක්‍රියා කළේය.
මේ වන විට දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් වසංගතයට ගොදුරුවී ඇති අතර, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මියගොස් ඇත. තවත් ලක්ෂ ගණනක් පිරිස් රෝගයෙන් සුවය ලබා ඇත. උතුරු ඇමරිකාව සහ බටහිර යුරෝපය දැනට ලෝකයේ වඩාත්ම බලපෑමට ලක්වූ කලාප වේ. සමස්ථයක් වශයෙන්රටවල් හා භූමි ප්‍රදේශ 213 ට බලපෑම් එල්ල වී ඇති අතර, නැව් කිහිපයක් මුහුදේ රඳවා ඇත.
චීනය මුළුමනින්ම පාහේ සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර, හුබෙයි පළාත හා එහි අගනුවර වන වුහාන් යථා තත්ත්වයට පත්ව ඇත.
කොවිඩ් - 19 ට එරෙහි අරගලයේ විකාශනය
වසංගතය වාර්තාවීමෙන් පසු එය වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා විවෘත, විනිවිද පෙනෙන හා වගකිවයුතු ආකාරයකින් චීන රජය කාලෝචිත ලෙස වඩාත් පුළුල්, දැඩි හා ගැඹුරු ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඉහත විස්තර කර ඇති පරිදි, ජනවාරි මුල සිට චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ අදාළ රටවලට වසංගත තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් දැනුම් දී ඇත. නවකොරෝනා වයිරස් ජානමය අනුක්‍රමය ජනවාරි 12 වනදා චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තා කලේ වසංගත රෝග ඉතිහාසයේ එතෙක් නොදැක තිබූ වේගයකිනි. ජනවාරි 23 වනදා චීනය මිලියන 11 ක ජනගහනයක් සහිත වුහාන් වසා දැමීමට තීරණය කළ අතර එම ක්‍රියා මාර්ගය නිසා කොරෝනා වයිරස් රෝග බොහෝමයක් වළක්වා ඇති බවට ගණන් බලා තිබේ. දේශසීමා හරහා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා පිටතට යන සියලුම සංචාරක කණ්ඩායම් අවලංගු කරන ලදී.
චීනය විසින් වසංගතයට එරෙහිව සටන් කිරීමට ලොවට සැපයූ ඉතා වටිනා කවුළු කාල පරිච්ඡේදය භාවිතා කරමින් වසංගතය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත නැවතත් රටවල් වලින් ඉල්ලා සිටියේය. සිංගප්පූරුව, කොරියානු ජනරජය වැනි රටවල් කාල පරිච්චේදය මුළුමනින්ම භාවිතා කළ අතර පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත්හ.
මෙය අලුත් ආසාදනයක් වූ බැවින් එය හැසිරවීමේ චීන අත්දැකීම් හැරෙන්නට එයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ලෝකය දැන සිටියේ නැත. චීන ප්‍රතිචාරයේ ප්‍රධාන ලක්ෂණය වූයේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයකින් නගර හෝ පළාත් වසා දැමීමෙන් සමාජ දුරස්ථ-භාවය ඇති කිරීමයි. තවත් පියවරයන් ගනුලැබූ අතර ඒවා දැඩිව ක්‍රියාත්මක කරනු ලැබුණි. චීනයේ විසින් ගනු ලැබූ පියවරයන් ප්රජාතන්ත්ර විරෝධී මෙන්ම චීන ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරනු ලැබූ ක්‍රියාමාර්ග ලෙස හෙළා දකිමින් සමහර බටහිර රටවලින් හඬ නැගුනි.
සටනේ ප්‍රවේශ දෙක
ආරම්භයේ සිටම කොවිඩ් -19 වසංගතයට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ රටවල් කල්පනා කල ආකාර දෙකක් ඇති බව පෙනේ. රටවල් බහුතරයක් චීන අත්දැකීම් භාවිතාවට ගත්තේ ඒවා ඒ වන විට ප්‍රතිපල පෙන්වා තිබුණු බැවිනි. තවත් සමහර රටවල් “සමූහ ප්‍රතිශක්තිය” තුළින් වසංගතයට එරෙහිව සටන් කිරීමේ ක්‍රමයක් අනුගමනය කළහ. සමූහ ප්‍රතිශක්තිය යනු රටක බහුතර ජනතාවට යම් රෝගයක් සඳහා ප්‍රතිශක්තිය ඇති අවස්තාවකි. එය ආකාර දෙකකින් සිදුවිය හැකිය;
1. විශේෂිත රෝගයකට එරෙහිව එන්නත ලබා දීමෙන් පසුව ජනගහනයෙන් බහුතරයක්
එම රෝගයට ප්‍රතිශක්තිය ලබාතිබීම.
2. ජනගහනයෙන් බහුතරයකට රෝගයක් වැළඳීම හරහා එම රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය ලැබීම (ස්වාභාවික ප්‍රතිශක්තිය)
කොවිඩ් - 19 ට එරෙහිව එන්නතක් මේ දක්වා නොමැත. එබැවින්, සමූහ ප්‍රතිශක්තිය ලබා ගත හැක්කේ මිලියන ගණන් ජනගහනය ආසාදනයට නිරාවරණය වීමකින් පමණි. මෙම ප්‍රවේශයට අනුව, බහුතරයක් ජනතාවට ආසාදනය වැළඳෙනු ඇති අතර ඒ වනවිටත් දැනසිටි 3% වූ (චීනයේ මෙන්) මරණ අනුපාතය එම රටවල් විසින් පිළිගැනීමට එකඟ වූවා විය හැකිය. වෙනත් වචන වලින් කිවහොත්, සමහර රටවල දේශපාලන නායකත්වය වෛරස් සමූල ඝාතනය හමුවේ තම පුරවැසියන් අතහැර දැමූ බවක් දිස්වේ. සමහර වැඩිහිටි නිවාස පාළු වූ අතර වැඩිහිටි රෝගීන් කුසගින්නට හා රෝග වලට ගොදුරු වූහ. මෙම ප්රවේශයේ සැබෑ ප්‍රතිපලය වූයේ එම රටවල කොවිඩ් 19 රෝගීන් අතර මරණ අනුපාතය ඉහළ යාමයි. මෙම ප්‍රවේශය පසුබෑමට ලක් වූ අතර, එම රටවල පාලක පන්තීන්ට එරෙහිව මහජන කෝපය දිනෙන් දින ඉහළ යන බව පෙනේ.
වැරදි ප්රවේශයන් අනුගමනය කිරීමෙන් හා චීනය ලබාදුන් කාලය නාස්ති කොට සිය වගකීම් පැහැරහැර ඉන්පසු චීනය අපකීර්තියට පත් කිරීමට එම රටවල් උත්සාහ කිරීම අතිශයින් කණගාටුවට කරුණකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට දොස් පැවරීම
“චීන කේන්ද්‍රීය”, චීනය කෙරෙහි “පක්ෂග්රාහී”, “තතු වසන් කිරීමේ” මෙහෙයුමේ සහ “ලෝකයට ප්‍රමාණවත් ලෙස අනතුරු ඇඟවීමට අසමත්වීම” වැනි කරුණු මත ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ විවේචනයට ලක්ව ඇත. ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ කුමක්දැයි විමසා බලමු?
ලෝක සෞඛ්‍ය සංවිධානය 2020 ජනවාරි 12 වන දින නිවේදනය කළේ වුහාන් හි පැහැදිලි කළ නොහැකි වෛරස් නියුමෝනියා තත්වයකින් පෙලෙන රෝගීන්ගෙන් අනාවරණය කරගත් නව කොරෝනා වෛරස් ජාන අනුක්රමයක් පිළිබඳව චීනයෙන් තොරතුරු ලැබී ඇති බවයි. 2020 ජනවාරි 30 වන දින එය “2019-නව කොරෝනා වයිරස් උග්‍ර ශ්වසන රෝගය” ලෙස නම් කරන ලද අතර, මෙම තත්වය ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් (PHEIC) ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. රෝගය කල්තියා හඳුනා ගැනීම, හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම, සම්බන්ධතා සොයා ගැනීම සහ අවදානමට අනුකූලව සමාජ දුරස්ථකරණය සඳහා දැඩි පියවර රටවල් විසින් ගනු ලැබුවහොත් වෛරස් ව්‍යාප්තියට බාධා කල හැකි බව ප්‍රකාශ කළේය. මාර්තු 11 වන දින එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක පරිමානයේ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
2020 පෙබරවාරි 03 වන දින ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලයේ 146 වන සැසිවාරය අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් මෙසේ පැවසීය. “මෙම පිපිරීම පරාජය කිරීමට අපට ඇති එකම ක්‍රමය සහයෝගීතාවයෙන් හා අන්‍යෝන්‍ය සහයෝගයෙන් සියලු රටවල් එකට වැඩ කිරීමෙනුයි. අප සියල්ලන්ම මෙම ප්රශ්නයේ එකට සිටින අතර අපට එය නැවැත්විය හැක්කේද එක්ව ක්‍රියා කිරීමෙන් පමණි. මෙම ප්‍රතිචාරයේ රීතිය වන්නේ සහයෝගිතාව, සහයෝගීතාවය සහ සහයෝගීතාවයයි ”.
ආරම්භයේ සිටම ලෝක සෞඛ්‍ය සංවිධානය වර්ධනය වෙමින් තිබුණු තත්වය පිළිබඳව ලෝකයට අනතුරු අඟවමින් ගෝලීය ප්‍රතිචාරය සම්බන්ධීකරණය කළේය. පළමු තත්ව වාර්තාව ජනවාරි 21 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද අතර 87 වන තත්ව වාර්තාව අප්‍රේල් 16 වන දින නිකුත් කරන ලදී. කොවිඩ් - 19 වසංගතයට එරෙහි සටනේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයට මඟ පෙන්වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට යමෙකු තත්ව වාර්තා නිරීක්ෂණය කළ යුතුය. ලෝක ජනතාවගේ සෞඛ්‍යය ගැන සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් සෘජුවම වරමක් ලබා දී ඇති එකම සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානය බව සියලු දෙනා දන්නා කරුණකි. ගෝලීය මට්ටමින් කොවිඩ් - 19 සඳහා ප්‍රතිචාරය සම්බන්ධීකරණය හා මෙහෙයවිය හැකි එකම සංවිධානය එය වන අතර ලෝකයේ සමහර බලවත් පුද්ගලයින් අරමුදල් කපා හැරීමෙන් එය දුර්වල කිරීමට උත්සාහ කරන්නේ ඇයි? ලෝක සෞඛ්‍ය සංවිධානය වඩාත්ම අවශ්‍ය වන්නේ ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට වන බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය දුර්වල කිරීමේ සැබෑ ඉලක්කය එම රටවල් මිස එකී සංවිධානය නොවන්නටද පුළුවන.
ලෝක සෞඛ්‍ය සංවිධානය දුර්වල කිරීමේ උත්සාහයට එරෙහිව මුළු ලෝකයම නැගී සිටි අතර යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රබල පුද්ගලයින් ද ලෝක සෞඛ්‍ය සංවිධානය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම අගය කළ යුතුය.
චීනයට දොස් පැවරීම
ඇමරිකා එක්සත් ජනපදයේ පාලක කණ්ඩායම්, එක්සත් රාජධානියේ සමහර පුද්ගලයින් සහ ලෝකයේ ඇතැම් මාධ්‍ය ආයතන වෛරසය ‘චීන’, ‘වුහාන්’ ලෙස නම් කිරීමට උත්සාහ කරමින් සිටින අතර ආසාදනය ‘වසන් කිරීම’ පිලිබඳ චීනයට චෝදනා කරයි. ඔවුහු එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන ගණනක හානිය අය කරගැනීම සඳහා ‘බැරෑරුම් ලෙස සාකච්ඡා කරමින්’ සිටිති. කොවිඩ් -19 සමඟ සටන් කිරීමට චීනය ලෝකයට වටිනා කාලයක් ලබා දුන් අතර එක්සත් ජනපදය චීනයට චෝදනා කළේ ‘උදාසීන හා විනිවිදභාවයකින් තොරව’ ක්‍රියා කල බව පවසමිනි.
2020 ජනවාරි 25 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද ට්වීට් පණිවුඩය මෙයයි.
කෙසේ වෙතත්, චීනය අපකීර්තියට පත් කිරීමට හා ඊට අපහාස කිරීමට නැවත නැවතත් උත්සාහ කරන බැවින්, නව කොරෝනා වෛරසයේ සම්භවය පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතු ඇතැම් ප්‍රශ්න සහ කරුණු තිබේ.
1. එක්සත් ජනපදය 1972 ජීව විද්‍යාත්මක හා විෂ ආයුධ සම්මුතියෙන් (BTWC) 2001 දී ඉවත් වූයේ ඇයි? එක්සත් ජනපදය සඳහා ජීව විද්‍යාත්මක ආයුධ නිපදවීමේ අරමුණට එය හරස්වූ නිසාද?
2. මේරිලන්ඩ් හි ඩෙට්රික් කොටුවෙහි පිහිටි එක්සත් ජනපද බෝවන රෝග පිළිබඳ හමුදා වෛද්‍ය පර්යේෂණ ආයතනය 2019 ජූලි මාසයේදී වසා දමන ලදී. එසේ වූයේ වෛරස් කාන්දුවීමක් සිදුවූ නිසාද? යන්තම් මාසයකට පසු රට පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් පැතිර ගියේය. එම කරුණු දෙක කිසියම් ආකාරයකින් එකිනෙකට සම්බන්ධ වී තිබේද? ඉහත වසා දැමීම ආවරණය කරමින් අන්තර්ජාලයේ විශාල ලෙසින් පළවූ ඉංග්‍රීසි ප්රවෘත්ති වාර්තා 2020 මාර්තු මාසයේදී මකා දැමුවේ ඇයි?
3. වුහාන් හි පැවති 7 වන මිලිටරි ලෝක ක්‍රීඩා උළෙලේ (2019 ඔක්තෝබර් 18-27) එක්සත් ජනපද කණ්ඩායම (සාමාජිකයින් 369) එක රන් පදක්කමක් හෝ දිනා නොගත්තේ ඇයි? සහභාගී වූ 369 දෙනා අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සිටියේද? ඔවුන් නවකොරෝනා වයිරස් වාහකයන් විය හැකිද?
4. ‘201 ක්‍රියාව’ නමින් හැඳින්වෙන ගෝලීය වසංගත තත්ත්වයක් පිලිබඳ හමුදා ව්‍යායාමයක් එක්සත් ජනපදය 2019 ඔක්තෝබර් මාසයේදී පැවැත්වූයේ ඇයි? එක්සත් ජනපදය අධික ලෙස බෝවන වෛරසයක් මගින් වසංගතයක් ඇතිවීම පුරෝකථනය කර තිබුණු නිසාද?
5. එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථාන අධ්යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් (මාර්තු 04 දා) පිළිගත්තේ උණ රෝගයෙන් මිය යන සමහර ඇමරිකානුවන් (මරණ 20,000 ක්) නවකොරෝනා වයිරස් (පශ්චාත් මරණ පරීක්ෂණ සොයාගැනීම්) අසාධනයට ලක්ව සිටි බවයි. ඇත්ත වශයෙන්ම නවකොරෝනා වයිරස් අසාධනයට ගොදුරු වී මියගිය සංඛ්‍යාව කොපමණද? වැරදි රෝග විනිශ්චය ආරම්භ වූයේ 2019 අගෝස්තු මාසයේ සිටද?
6. නවකොරෝනා වයිරස් ආසාදිත නියුමෝනියාව සහිත රෝගීන්ගේ පෙනහළු වල සීටී ස්කෑන් පරීක්ෂණ වලදී බිම් වීදුරු පාරාන්ධතාව (සුදු පැල්ලම්) පහසුවෙන් දැකිය හැකි බැවින්, කොවිඩ් -19 සහ එච්1එන්1 (H1N1) උණ රෝගීන් වෙන් කිරීම පහසු දෙයක් විය යුතුය. එසේ නම් මෙතරම් වැරදි රෝග විනිශ්චයන් සිදුවුයේ මන්ද?
7. ජපානය, දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල් සියල්ලම වාර්තා කළේ ඔවුන්ගේ පළමු කොවිඩ් -19 රෝගීන් චීනය සමඟ නිරාවරණ ඉතිහාසයක් නොමැති නමුත් එක්සත් ජනපදය සමඟ සම්බන්ධයක් තිබූ බවයි. ජපාන රෝගියෙකුට හවායි හි ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැලඳී ඇති බවට රෝගවිනිශ්චය වී තිබුනත් ඔහු ජපානයට ආපසු ගිය විට කොවිඩ් -19 අසාධනය වී තිබුණු බව තහවුරු විය. එක්සත් ජනපදයේ සමහර කොවිඩ් -19 ආසාධිත රෝගීන්ට චීනය සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණි.
චීනයේ වුහාන් නගරය මුලින්ම වාර්තා වුවද, නව කොරෝනා වෛරසය එහි ඇති වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත. ජානමය පර්යේෂණ වලින් පෙනී යන්නේ නව කොරොන වයිරස උප වර්ග 3 ක් (A, B, C) ලොව පුරා පැතිර ඇති බවයි. චීනය, ජපානය, එක්සත් ජනපදය, යුරෝපය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණයන් වෛරසයේ සම්භවය පිළිබඳව තවමත් නිශ්චිත නිගමනයකට එළඹ නැත.
ලක්ෂ 3 ක් (300,000) මියගිය 2009 එච් 1 එන් 1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය ආරම්භවුයේ එක්සත් ජනපදයෙනි. නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සින්ඩ්‍රෝමය (ඒඩ්ස්) මුලින්ම වාර්තා වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. ලෝකයේ මිලියන 37 ක් එච්.අයි.වී ආසාදිතයින් ජීවත් වන අතර මිලියන 39 ක් මියගොස් ඇත. එච්.අයි.වී / ඒඩ්ස් මූලාරම්භය හා පැතිරීමේ මාර්ගය සොයා ගන්නා ලද්දේ වසර ගණනාවකට පසුවයි. නමුත් කිසිවෙකු හෝ එය ඇමරිකානු වෛරසය ලෙස නම් කිරීමට ඉක්මන් නොවීය, එසේ නම් මෙහිදී වෙනස් ප්‍රවේශයක් ගන්නේ ඇයි?
නවකොරෝනා වයිරසයේ සම්භවය විද්‍යාවට අදාළ කරුණක් බව නැවත අවධාරණය කිරීම වැදගත් වන අතර ඒ සඳහා විද්‍යාව පදනම් කරගත් වෘත්තීය සොයාබැලීම් හා පර්යේෂණ අවශ්‍ය වේ. එබැවින් මහජන සෞඛ්‍ය ගැටළු දේශපාලනීකරණයට හා වෙනත් රටවලට අපහාස කිරීමට යොදාගැනීමට විරුද්ධ වීම වැදගත් ය. ඕනෑම රටකට, කලාපයකට හෝ ජනවාර්ගික කණ්ඩායමකට එරෙහි සියලු වෙනස් කොට සැලකීම් සහ භාවිතයන්ට මෙන්ම වසංගතය පාලනය කිරීම සඳහා රටවල් අතර සහයෝගය අඩපණ කිරීමට දරන උත්සාහයන්ට දැඩි ලෙස විරෝධය දැක්වියයුතුය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ “අපි කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කරන විට වාර්ගික වෙනස්කම් කිරීම් සහ අගතිය වැඩි කිරීම දැකීම ලැජ්ජාවට කරුණක්” සහ “අපි සැමවිටම ජාතිවාදයට හා අගතියට එරෙහිව සටන් කළ යුතු” බවයි.