Asia Cracks Down On Virus 'Fake News' ලෙසට The Asean Post හි 11/04/2020 දින පළවුණු ලිපියක පරිවර්තනයකි.
පරිවර්තනය - ශ්‍යාමා බස්නායක
ජාත්‍යාන්තර ප්රවෘත්ති ඒජන්සියක් වන Agence France-Presse (AFP) කරන ලද විමර්ශනයකට අනුව අසත්‍ය යයි සලකනු ලබන කොරෝනා වයිරස් තොරතුරු පළකිරීම හේතුවෙන් ආසියාව පුරා පුද්ගලයින් සිය ගණනින් සිර භාරයට ගෙන ඇත. මෙලෙස ආණ්ඩු මගින් සිදු කරන "අසත්‍ය ප්රවෘත්ති" මර්ධනය කිරීමේ ක්‍රියාවලියන් පුළුල් කිරීම තුළින් අනවශ්‍ය ලෙස පුදගලයින් ඉලක්ක කිරීම හා විමතික අදහස් නිහඬ කිරීම පිළිබඳ ගැටළුවක් නිර්මාණය වෙමින් පවතී.
වයිරසයේ ව්‍යාප්තියත් සමග ගෙන ආ අපැහැදිලිව වර නැගූ සයිබර් අපරාධ නීති හා විස්තෘත හදිසි නීති බලයන් යොදමින් බාල වයස්කාරයින්ගේ සිට රූපවාහිනී තාරකාවන් දක්වා පුදගලයින් නිකරුනේ රඳවා තබා ගැනීම් සිදුව ඇති බව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩයාම් පවසයි
"COVID-19 අර්බුදය මැඩලීම වෙනුවෙන් දියත් කරන ලද පිළිවෙත්වලට විරුද්ධව පළවන මතයන් හා ප්‍රකාශ වාරණය කිරීම සඳහා ආණ්ඩු විසින් සිදු කරන අයතීන් උල්ලංඝනය කිරීමේ උත්සාහයන් වෙස් ගැන්වීම සඳහා 'අසත්‍ය ප්රවෘත්ති' ලේබලය යොදා ගනිමිනි සිටී" යයි Human Rights Watch (HRW)හි ආසියාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ෆිල් රොබට්සන් පවසයි. "මෙය ඇත්ත වශයෙන්ම විකාරසහගතයි. බොහොමයක් අවස්ථාවල සිදුවන්නේ මිනිසුන් ඔවුන්ගේ නිවෙස්වලින් එලියට ඇද දමා COVID-19 වැළඳීමට වැඩි අවකාශයක් ඇති සෙනග පිරුණු සිර කූඩු වල නඩු විභාගය තෙක් රඳවා තැබීමයි." ඔහු තවදුරටත් පවසයි.
පොලිස් වාර්තා අනුව සැකසුනු AFP ගණනයකට අනුව තායිලන්තයේ සිට ඉන්දියාව හා මොන්ගෝලියාව දක්වා ආසියානු රටවල් 10ක අවම වශයෙන් 266 දෙනෙකු කොරෝනාවයිරස් ආශ්රිත තොරතුරු පළ කිරීම හේතුවෙන් මේ දක්වා සිරභාරයට ගෙන ඇතැයි වාර්තාපිතය.
ඉන්දීය රජය විසින් කොරෝනාවයිරස් මරණ වසන් කරන බවට ෆේස්බුක්හි ප්‍රකාශ කල එකතරා දේශපාලනඥයෙකු සහ එක්තරා රෝහලක වසංගතය පිලිබඳ ක්‍රියාවලින් විවේචනය කරමින් යූටියුබ් වීඩියෝවක් පළ කිරීම නිසා ඇමෙරිකානු ඩොලර් දහස් ගණනකින් වන්දි ගෙවීමට සිදු වුනු මැලේසියානු රුපවාහිණියේ ප්‍රසිද්ධ පුද්ගලයෙකුද මෙයට අයත් වේ.
බලධාරීන් පවසන්නේ, ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) විසින් "infodemic" (තොරතුරු වසංගතය) ලෙස නම් කර ඇති භායනක අසත්‍ය ප්‍රතිකාර සහ කුමන්ත්‍රණ හිතලුවන්ගෙන් අන්න්තර්ජාලය පිරී යාම වැලැක්වීම සඳහා මෙලෙස අපරාධාකරණය අවශ්‍ය බවය.
එනමුදු HRW ඇතුළු අනෙකුත් කණ්ඩායම් පෙන්වා දෙන්නේ විරුද්ධ පාක්ෂිකයින් හෝ මාධ්‍යවේදීන්ද ඉලක්ක වී ඇති බවයි. තමුන් වැරදි තොරතුරු ප්‍රචාරය කරන බව නොදැන කටයුතු කරන සාමාන්‍ය මිනිසුන්ව සිරභාරයට ගැනීමේ සාධාරණතාවය ගැනද ඔවුන් තවදුරටත් ප්‍රශ්න කරයි.
ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ මැදවයස් කාන්තාවක් එරටෙහි ජනාධිපතිට COVID-19 ආසාදනය වී ඇතැයි විහිළුවක අදහසින් පල කල පෝස්ටුවක් නිසා දින තුනක් සිරභාරයේ සිටි බවයි.
AFPයට දක්නට ලැබුණු අධිකරණ වරෙන්තුවකට අනුව, කාම්බෝදියාවේ පුද්ගලයෙකු එරට අගමැති Hun Senගේ ප්‍රකාශයක උපුටා ගැනීමක් Facebookහි පල කිරීම හේතුවෙන් බරපතල අපරාධයකට පෙළඹවීම (incitement to commit felony) යන චෝදනාව යටතේ අවුරුදු දෙකක් දක්වා සිර දඬුවම් වලට නියම වී ඇත.
අදාළ නිලධාරින් පවසන්නේ Hun Sen අගමැති එරට මෝටර් රථ ටැක්සි රියදුරන්ට වසංගතය කාලය තුල මුදල් උපයීමට නොහැකි නම් ඔවුන්ගේ වාහන විකුණා දමන ලෙස පැවසුවේ විහිළුවක් ලෙසට බවය.
'කටකතා පැතිරීම'
--------------------------
HRWයට අනුව කාම්බෝදියානු බලධාරීන් විසින් විපක්ෂයේ දේශපාලනඥයන් 4දෙනකු රඳවාගන සිටි අතර, එරට පොලීසියට හා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් පවසන්නේ අත්අඩංගුවට ගෙන ඇති දුසිමකට වැඩි පිරිස අතර අවුරුදු 14ක ගැහැණු ළමයෙකුද සිටි බවයි. ප්‍රශ්න කිරීම අවසන් වූ විගස ඇයව චෝදනා නොමැතිව නිදහස් කොට ඇත.
මෙලෙස ආසියාවේ කොරෝනාවයිරසයට අදාලව වැරදි තොරතුරු පැතිරවීම මූලික කරගෙන අත්අඩංගුවට ගැනීම්වල වැඩිවීමක් සිදුව ඇත්තේ රටවල් ඊනියා අසත්‍ය ප්රවෘත්ති සඳහා ඇති නීති තද කිරීම හා අලුත් නීති ගෙන ඒමෙන් පසුය.
"අලුත් නීති හඳුන්වාදීම තුලින් හෝ පවතින නීතින්වල විෂය පථය විකාශනය කිරීම තුළින් සාවද්‍ය තොරතුරු නියාමනය ආසියාවේ පසුගිය වසර කිහිපය තුල තිබුණු නැඹුරුවයි." හොංකොං විශ්ව විද්‍යාලයේ පුවත්පත් කලා පර්යේෂක, Masato Kajimoto පවසයි.
වසංගතය හේතුවෙන් මෙම ක්‍රියාවලිය වේගවත් වී ඇත්තේ දැන් මෙවැනි අත්අඩංගුවට ගැනීම් ප්රකාශනයේ අයිතිය උල්ලංඝනය කිරීම වෙනුවට මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම ලෙස දැක්විය හැකි බැවින් බව තව දුරටත් ඔහු පවසයි.
මාර්තු මස අග තායිලන්තයේ COVID-19 ගැන 'භය උපදවන' සාවද්‍ය තොරතුරු අන්තර්ජාලයේ පල කිරීම අපරාධකරණය කරමින් හදිසි අවස්ථා නියෝගයක් අනුමත කරන ලදී. අවුරුදු 5ක උපරිම සිර දඬුවම් ලැබිය හැකි හා බොහෝ විට අන්තර්ජාලයේ විමතික මතයන් මැඩ පැවැත්වීම සඳහා යොදාගන්නා පරිගණක අපරාධ පනතට (Computer Crimes Act) අමතරවයි ඉහත නියෝගය ගෙනෙන්නේ.
පිලිපීනයේද මෑතකදී වසංගතය මැඩලීම සඳහා බලතල වැඩි හදිසි නීති ගෙන ආ ඇති අතර එයට COVID-19 පිළිබඳ සාවද්‍ය තොරතුරු බෙදා හරින්නන් අත්අඩංගුවට ගැනීමද අයත් වේ.
ඉන්දියාවේ දැනට පවතින දණ්ඩ නීති සහ ආපදා කළමනාකරණ පනතට යටත්ව මේ වනවිට 100කට ආසන්න පිරිසක් වයිරසයට අදාලව සාවද්‍ය තොරතුරු පැතිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත. අවුරුද්දක් දක්වා සිර දඬුවම් ද ඒ අතර ඇත .
"ඉන්දියාවේ අසත්‍ය ප්රවෘත්ති සම්බන්ධයෙන් නිශ්චිත නීති නැති වුවද 'කටකතා පැතිරීම' සඳහා බලපාන නීති ප්‍රතිපාදන ඇත." දිල්ලි නුවර පිහිටි Internet Freedom Foundationහි අධ්යක්ෂ අපර් ගුප්තා මහතා පවසයි.
"ඉන්දියාවේ මතිග්‍රාහී සහ මන්දගාමී අධිකරණ පද්ධතියත් සමග මෙම විස්තෘත ලෙස ප්‍රකාශිත නීතින් අත්තනෝමතික ක්‍රියාමාර්ග ගැනීමට හේතු විය හැකි බව පැවසීම සාධාරණයි" ඔහු තව දුරටත් පවසයි.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකු වන කරුණා නන්දි පවසන්නේ එවැනි අත් අඩංගුවට ගැනීම් සියලු උසාවි වසා ඇති මෙවැනි ලොක්ඩවුන් තත්වයක් යටතේ විශේෂයෙන් තැතිගන්වනසුළු බවය.
හොර වියවුල්
-------------------
සිංගප්පූරුවේ මෙම අවුරුද්දේ මුලදී ආණ්ඩු විරෝධී වෙබ් අඩවියක් තහනම් කළේ පසුගිය ඔක්තෝබරයේ අනුමත කරන ලද මහත් මතභේදයට තුඩු දුන් නව හා විස්තෘත අසත්‍ය තොරතුරු විරෝධී නීති (anti-misinformation law) යටතේය. බලධාරීන් States Times Review වෙබ් අඩවියට චෝදනා කලේ ඔවුන් අසත්‍ය ප්‍රකාශ (කොරෝනාවයිරස් ව්‍යාප්තිය ගැනද ඇතුළුව) සංසරණය කරන බවටයි.
කොරෝනාවයිරස් ව්‍යාප්තියත් සමග අසල්වාසී ඉන්දුනීසියාවේ 80ට වැඩි පිරිසක් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ රටෙහි ඇති දැඩි ඉලෙක්ට්‍රොනික තොරතුරු නීති (electronic information law) යටතේයි. එරට රජයට හා කොරෝනා වයිරස් ව්‍යාප්තියට රජය දැක්වූ ප්‍රතිචාරයට පහර දුන්නා යයි චෝදනා ලැබූ අයවලුන්ද, ජකර්තා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී COVID-19 වැළඳී සිටි මුස්ලිම් ජාතික කාන්තාවක් හදිසියේ මිය ගිය බවට ප්‍රකාශ කල කිහිප දෙනෙකුද මෙම ගොන්නට අයත්ය.
SAFEnet නැමති ඩිජිටල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් නියෝජනය කරන Damar Juniarto පවසන්නේ ඉන්දුනීසියානු නීතීන් අසත්‍ය තොරතුරක්--අහඹුවක් ලෙස වුවද පැතිරිය හැකි--යනු කුමක්ද යන්න ගැන පැහැදිලි අර්ථ විග්‍රහයක් දී නොමැති බවයි.
"මෙම ගැටළුවේ මූලය වන්නේ රජය විසින් තොරතුරු සම්බන්දයෙන් නායකත්වය නොගැනීමයි" Juniarto පවසයි. ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් එරටෙහි අර්බුදය නිල වාර්තාවන්ට වඩා දරුණු බවට අනතුරු අඟවා ඇත.
HRWහි රොබට්සන් මෙම මතයම පවසන්නේ "පුද්ගලයින්ට තමන්ට සිතෙන දේ අන්තර්ජාලයේ පැවසීම අපරාධකරණය නොකල යුතුයි. සාධනීය තොරතුරු සැපයීම රජය විසින් කල යුතු දෙයකි" ලෙසටයි