Friday, 21 February 2020

දේවානි සිදුවීම සහ ගටක් ඇති රටක් වෙනුවෙන් සමාජ මාධ්‍ය සතු තෙරපුම් බලය

 

සඳුන් ප්‍රියංකර විතානගේ


දේවානි ජයතිලක නම් වන සංරක්ෂණ නිලධාරිවරියක් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රධානත්වය දරමින් පැවැත්වූ රැස්වීමකදී කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් නොබියව මැදිහත්ව කළ අදහස් දැක්වීම දැන් මුළු රටම දන්නා සිදුවීමක් බවට පත් ව අවසන් ය. ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ද විපක්ෂය ද ඇතුළුව බොහෝ දෙනා ඈ වෙනුවෙන් පෙනී සිටින බව දැකගන්නට තිබේ. සමකාලීන සමාජයක මෙය මෙම අදහස් දැක්වීම මහත් හරසරින් පිළිගන්නට හේතුව මෙවැනි මැදිහත්වීම්වල ඇති දුලබකම බව පළමුව කිව යුතු ව තිබේ. 1970 දශකයෙන් පසුව වඩා තීව්‍ර ලෙස සකසන ලද මජර දේශපාලන ක්‍රමයේ ඓන්ද්‍රීය ලක්ෂණයක් වූයේ එවැනි මැදිහත්වීම් කරන නිලධාරීන්-නිලධාරිනියන්ගේ කොඳු කඩා දැමීම ය. ඉන්නට හිටින්න තැන් නැති කිරීමය. එළව එළවා පහර දී අවසන සමහරවිට ජීවිතය පවා උදුරා ගැනීමය. එසේ කළ අවස්ථා සිය ගණනින් උදාහරණ දැක්විය හැකි ය. එවැනි නිබය මිනිසුන් පළවාහැරි සමාජයක දේවානිගේ වැනි මැදිහත්වීමක් අතිශය ආන්දෝලනාත්මකවීම අරුමයක් නොවේ.

"අපිව මේ තැන්වලට පත් කරලා ගමේ ගොඩේ මිනිස්සු කියන විදිහට නම් වැඩ කරන්නෙ අපෙන් වැඩක් නෑ" යනුවෙන් ඇය කරන ප්‍රකාශය යමෙකුට සාහසික එකක් ලෙස පෙනී යා හැකි වුව ද එම ප්‍රකාශයේ වරදක් ඇත්තේ නැත. මේ රටේ බොහෝ අවලස්සන තැන් නිර්මාණය කර තිබෙන්නේ මේ ගමේ "ගොඩේ මිනිසුන්ය". අප ඔවුන්ට ගමේ ගොඩේ මිනිසුන් කියන්නෙ පොදු ව්‍යවහාරයේ එන අර්ථයෙන් නොවේ. "අසංස්කෘතික සහ අශිෂ්ට" යන අර්ථයෙනි. විද්‍යාත්මක හෝ ජනහිතකාමී පදනමකින් සිදු කරන්නට යන බොහෝ දේට අකුල් හෙළන්නේ මේ රටේ උක්ත ජන පිරිසයි. මේ පිරිසගේ ඡන්ද ගොන්නට කෑදරව ඒ පිටුපස දිවයන නූගත් දේශපාලුවා මොවුන්ගේ ඉල්ලීම් කවරක් වුවත් ඉදිරියට ගෙන ඉටු කරලන්නට දඟ දමයි. රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත එවැන්නෙකි. තවත් එබඳු බොහෝ දෙනා දන්නා සරල උදාහරණ දෙක තුනක් දක්වමු. පන්නිපිටිය ප්‍රදේශය ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමට එදිරිව මහත් හිසරදයක්ව පවතින බෝගසක් කපා සුවහසක් ජනයාට සෙත සලසන්නට ඉඩ නොදෙන්නේ උක්ත වර්ගයේ ජනයා ය. සිංහරාජය ලෝක උරුම වනසංරක්ෂණය තුළ වාහන යා හැකි පාරක් ඉදි වෙනවාට කැමති ගමේ මිනිසුන් අපට හමු විය. එද අර වර්ගයේ මිනිසුන්ය. එක්තරා ප්‍රදේශයක අයාලේ යන ගව රංචුවක් නිසා ඍජුවම සිදුවුණු වාහන අනතුරුවලින් ජීවිත දෙකක් අහිමි වූ අතර ඒ හරක් රංචුව කැළෑවට ගෙන ගොස් දමන්නට ප්‍රාදේශීය දේශපාලන අධිකාරියක් උත්සාහ දරන විට මේ වර්ගයේ මිනිසුන් රැසක් සංවිධානය වී එය වැළැක්වූයේ අනේ සිරියාවන්ත හරක් රංචුව යැ යි කියමිනි. රටක් ලෙස තම ඉපැයීම්වලින් අතිශය විසල් වියදමක් වෙන් කරන්නට සිදුව ඇති අයාලේ යන බලු ප්‍රශ්නය ද මේ ඊනියා පොදු ජනතාව විසින් නවතා දමා තිබෙයි. කියන්නට නම් තව බොහොමයක් උදාහරණ තිබේ. මේ ජන සංඝ සහ පොදු ජන සටන් ව්‍යාපාර අතර ඇති වෙනසද මෙතැන ම සිහිපත් කර යා යුතු ය.

දශකයක කාලයකට එපිටින් කුප්‍රකට ඇමැත්තෙකු වූ මර්වින් සිල්වා රජයේ නිලධාරියෙක් ගස් බැන්ද අතර මෙතරම් විරෝධයක් ඊට එල්ල නොවූ බව සිහිකටයුතු ය. සීමිත මාධ්‍ය ඉඩකඩ අස්සේ එයට විරෝධය පැන නැගුණු නමුත් දේවානි සිදුවීම වැනි යමක් එහිදී සිදු වූයේ නැති. මෙවැනි තවත් අවස්ථා ඇති අතර තවත් පුත්තලං බූරුවෙකු විසින් ගුරුවරියක් දණගස්වා තැබීම වැනි ඒවාට පවා මෙතරම් ජනරාශියක් ඇති වූයේ නැත. දේවානිට ලැබුණු මේ සහයෝගය පිටුපස ඇති සැබෑ බලය සමාජ මාධ්‍ය සතු තෙරපුම් බලය ලෙස හඳුන්වන්නට අප කැමැති ය. සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වී බහුතර මතය නිලධාරිනියගේ දෙසට හැරී ගිය පසු වගකිවයුතු අංශවලට ඒ පිලෙහි සිටගැන්ම හැර අනෙකක් කළ නොහැකි තැනට වැඩ සිදුව ගියේ ය. එසේ ම සමාජ මාධ්‍ය මගින් මේ සිදුවීම ප්‍රචාරය වී ඒ වෙත ජනමතයක් නිර්මාණය වූවාටත් පසුවය, මේ සිදුවීම ප්‍රධාන මාධ්‍ය විසින් ඩැහැගන්නා ලද්දේ. ගස්බැඳීමේ සිදුවීමේ සිට මේ දක්වා ගෙවී ගිය දශකයක කාලය තුළ ලෝකයේ සමාජ මාධ්‍ය වෙත පොදුජනයාගේ ළංවීම සිදු වූයේ පිමි වශයෙනි. එපමණක් නොවේ, මාධ්‍ය කටයුතු කෙරෙහි භාවිත කළ හැකි දුරකතන, කැමරා, පටිගත කිරීමේ යන්ත්‍ර සහ වෙනත් උපකරණ ද සුලබ වී ගියේය. දේවානිගේ සිදුවීමට අදාළව සේ ම වෙනත් අනීතික මැදිහත්වීම් පටිගත කර තිබෙන්නේ ප්‍රචාරය කරන්නේ බොහෝකොට සමාජ මාධ්‍ය වෙනුවෙන් සාමාන්‍ය මිනිසුන් මිස අධිපති ධාරාවේ මාධ්‍යවේදීන් නොවේ. සමාජ මාධ්‍ය සතු තෙරපුම් බලය ජනහිතකාමී ලෙස යොදා ගැනීම ගැන වෙන ම කතිකාවක් ඇති කළ යුතුය. විශේෂයෙන් රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සැබෑ ප්‍රශ්න වෙනුවට තමා අනුයන දේශපාලන කඳවුරේ න්‍යායපත්‍රයන් ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් ලෙස ජනතාවට බෙදන අවකාශයක සමාජ මාධ්‍ය පෙනෙනවාට වඩා බලවත් ය. මේ සමාජ මාධ්‍ය යුගය හා අනන්‍ය කර සලකන කල්හි පෙර සිදුව තිබෙන සමහර සිදුවීම් සමකාලීනව සිදු වූයේ නම් ඒවායේ ප්‍රතිඵල බොහෝ වෙනස් වෙන්නට ඉඩ තිබුණු බව පැහැදිලි ය.

 

Blog Right Add

Popular Tags

වම් ඉවුරේ වෙබ් නාදය