Saturday, 24 October 2020

සම්මාන මහාචාර්ය තක්ෂලා සේරසිංහ


ශ්‍රී ලංකාවේ පශු පාලන කටයුතු අතර කිරි නිෂ්පාදන කර්මාන්තය ප්‍රධාන තැනක් ගන්නා අතර එහි තීව්‍ර වර්ධනයක් ඉදිරි වසර කිහිපය තුළ අනිවාර්යයෙන් බලාපොරොත්තු විය යුතුය. සත්ව ප්‍රෝටීන් පරිභෝජනය ඉහළ දැමීම මගින් මන්දපෝෂණය තුරන් කිරීම සඳහා කිරි නිෂ්පාදනයෙන් ස්‌වයංපෝශිත වීම රජයේ අත්‍යවශ්‍ය අනාගත ප්‍රතිපත්තියක් විය යුතුය. පසුගිය වකවානුවේදී මෙම අරමුණ සාර්ථක කර ගැනීම වෙනුවෙන් නොයෙකුත් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. එනම් මහා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් කිරි නිෂ්පාදන ක්ෂේත‍්‍රයට අවශෝෂණය කර ගැනීම සඳහා පිටරටින් ආනයනය කරන ලද කිරි දෙනුන් සහන මිලට ලබාදීම, ගොවිපළ අතුරු ව්‍යූහය දියුණු කිරීම සඳහා සහනදායි පොලි ක්‍රමයට (6%) ණය ආධාර ලබාදීම සහ කිරි සඳහා වැඩි සහතික මිලක් ලබාදීම වැනි ක්‍රියා මගිනි.


නමුත් ඉහත ක්‍රියාදාම මගින් රටේ කිරි නිෂ්පාදනය සැලකිය යුතු තරම් ඉහළ නැංවීමට අපොහොසත් වීම විමතියට කරුණකි. ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් අඩුම තරමින් 50%ක ස්‌වයංපෝශිත තත්ත්වයට ළඟාවීමට බලවත් පරිශ්‍රමයක යෙදී සිටින බව නොරහසකි. කිරි නිෂ්පාදනයේ මන්දගාමී වර්ධනයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැක්කේ කිරි දෙනුන්ට ආහාර දීම ප්‍රමාණයත් නොවීමත්, බොහෝවිට ඔවුන්ට සමතුලිත ආහාර සලාකයක් නොලැබීමත්ය. හොඳ ගුණාත්වයෙන් යුතු තෘණ සහ පෝෂ්‍ය තෘණ වර්ග රට තුළ හිඟවීම, ගුණාත්වයෙන් යුතු රෝපණ ද්‍රව්‍ය හිඟවීම (තෘණ සහ රනිල බීජ), තෘණ සහ පෝෂ්‍ය තෘණ වර්ග වගා කිරීමට අවශ්‍ය ඉඩම් හිඟ වීම ගොවියන් නව තාක්ෂණික දැනුම අත්හදා බැලීමට අකමැති වීම යනාදී කරුණු ප්‍රධාන අවහිරතා ලෙස දැක්විය හැකිය. තවද, සාන්ද්‍ර ආහාර එනම්, පොල් පුන්නක්කු වැනි ද්‍රව්‍යවල මිල අධික වීම, සයිලේජ් සහ මිශ්‍ර පරිපූරක ආහාර (Total mixed ration) වැනි දෑ භාවිතා නොකිරීම / හිඟ වීම සැලකිය යුතු කරුණුවේ. රජය මගින් කෙතරම් අනුග්‍රහයක් ලබා දුන්නත් පෝෂ්‍යදායි, සමතුලිත ආහාර වේලක් විශේෂයෙන්ම කිරි දෙනුන්ට ලබා දීමට ගොවියන් අපොහොසත් වීම නිසා බලාපොරොත්තු වූ ප්‍රතිපල නොලැබී යාම පුදුමයට කරුණක් නොවේ.


පසුගිය වකවානුවේදී රට තුළ අනුගමනය කළ නොයෙකුත් ක්‍රියාමාර්ග නිසා කිරි නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුළ මහා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් විශාල සංඛ්‍යාවක් බිහිවිය. ආනයනය කරන ලද, උසස් ආරෙහි කිරි දෙනුන් 50-500 ප්‍රමාණයක් ගාල්කර තැබීමට හැකි නව තාක්‍ෂණයෙන් සපිරි ක්‍ෂුද්‍ර ගොවිපොළවල් රාශියක් රට තුළ බිහිවිය. කිරිදෙනුන් මිලදී ගැනීමට විශාල ආයෝජනයකුත්, අතුරු ව්‍යූහය දියුණු කිරීම සඳහා තවත් විශාල ආයෝජනයකුත් දැරූ නමුත් බොහෝ ගොවිපලවල තෘණ සහ පෝෂ්‍ය තෘණ වර්ග වගා කිරීමට අවශ්‍ය ඉඩම් නොමැතිකම විශාල බාධාවක් විය. තවද, සතුන් රටට ආනයනය කරන අවස්ථාවේදී, අඩුම වශයෙන් කිරි දෙනුන් සඳහා වසරකටවත් අවශ්‍ය වන පෝෂණීය අවශ්‍යතාවන් ගැන ඇස්තමේන්තුවක් නොකිරීම නිසා නිසි පරිදි ආහාර සපයා ගැනීමට නොහැකි වීමෙන් භයානක ව්‍යසනයක් ඇතිවිය. ආනයනය කරන ලද, උසස් ආරෙහි කිරි දෙනුන් කිලෝ ග්‍රෑම් 500 හෝ ඊට ආසන්න ජීව බරකින් යුතු වීම නිසා ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් දේශීය දෙනුන්ගේ පෝෂණ මට්ටමට වඩා බොහෝ වැඩිවිය. බොහෝ ගොවිපලවල් තම කිරි දෙනුන්ගේ පෝෂණීය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා, පාරවල් දෙපස, මුඩුබිම්වල, යටිවගා ලෙස වැඩි ඇති තෘණ භාවිත කරන ලද අතර එහි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවය ආනයනය කරන ලද උසස් ආරෙහි කිරි දෙනුන්ගේ පෝෂක අවශ්‍යතා සැපිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවිය. ලබා දුන් ආහාරවල ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවය දිගින් දිගටම අඩුවීම නිසා කිරි දෙනුන්ට පෝෂණීය, කායික සහ ප්‍රජනක ආබාධද හට ගති. මෙහි ප්‍රතිපලයක් ලෙස, බොහෝ ගොවිපළ හිමියන් තම කිරි නිෂ්පාදන මෙහෙයුම් අත්හැර දමන ලද අතර තවත් කොටසක් ආහාර දීමේ වැඩපිළිවෙල වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගැනීම නිසා තම ගොවිපල සාර්ථකත්වය කරා මෙහෙයවීමට සමත් විය. කිරි නිෂ්පාදනය සාර්ථකව පවත්වා ගෙනා යෑමට අවශ්‍ය මූලික සහ අත්‍යාශ්‍ය සාධකය වන්නේ ආහාර සැපයුම ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව පවත්වා ගැනීමයි. එබැවින් කිරි ගොවින් උසස් ගුණාත්මක භාවයෙන් යුතු තෘණ සහ පෝෂ තෘණ වගා කිරීම සහ පෝෂ සංරක්ෂණයට නැඹුරු වීම අත්‍යවශ්‍ය කරුණකි.

අභියෝග, ඉඩප්‍රස්ථා සහ විසඳුම්


ශ්‍රී ලංකා රජය විසින් නියම කරන ලද පරිදි සමහර ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩවල සීමිත ආනයන තත්ත්ව යටතේ දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීමට විශාල විභවයක් ඇති අතර ස්වයංපෝශිත වීම සඳහා මංපෙත් හෙළිකර ගත හැක. දැනට දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තයේ වර්ධන වේගය ආසන්න වශයෙන් 3%ක් වන අතර ස්වයංපෝශිත තත්වයට ළඟාවීමට ආසන්න වශයෙන් 15%ක වර්ධන වේගයක් පරිභෝජනය නොවෙනස්ව පවත්වා ගෙන යමින් ඉදිරි වසර කිහිපය තුළ ලබාගත යුතුය. මෙය ඉතාමත්ම අභියෝගී කටයුත්තක් වන අතර දැනට රටේ කිරි නිෂ්පාදනය ආසන්න වශයෙන් ප්‍රමාණයත් වන්නේ 42% ක දේශීය අවශ්‍යතා සපුරාලිමටයි.


කිරි නිෂ්පාදකයින් කර්මාන්තයේ නියත වශයෙන් රඳවා ගැනීමට නම් ඔවුන්ට උපරිම ප්‍රතිලාභ ලැබීමට හැකිවන සහතික මිලක් කිරිවලට ලබාදිය යුතුය. මේ සඳහා රජයේ සහය උපරිම වශයෙන් ලබා දීම වැදගත්වේ. රජය මගින් ශුද්‍ර ණය මුදල් ලබාදීම වැනි දේ මගින්ද කිරි නිෂ්පාදකයින්ගේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩ පිළිවෙලවල් සකස් කිරීම අත්‍යවශ්‍යයි.


මොනයම් අවස්ථාවකදී, කිසිම ජාතික වැඩපිළිවෙලක තෘණ, පෝෂ තෘණ සහ රනිල වගාව ආර්ථික වශයෙන් ලාබ ලැබිය හැකි වගාවන් ලෙස නම්කර නොමැත. එසේම ඒ සඳහා මොනයම් අවස්ථාවක හෝ භූමිය වෙන්කර දීමක්ද සිදුවී නොමැත. තවද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කිසිම අවස්ථාවක, සත්ව ගොවිපලවල් සඳහා හෝ තෘණ වගාවන් සඳහා ජලය ලබාදීම සිදු කර නොමැත. නමුත් වාරි ජලය නොමැතිව, වියළි කාලයේදී කිසිම බෝගයක් වග කිරීමට නොහැකි බව අප සියලූදෙනාම දන්නා කරුණකි. තෘණ, පෝෂ තෘණ සහ රනිල වගාවටද එය බලපායි.


මා ඉහත සඳහන් කළ පරිදි කිරි නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුළ මහා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් විශාල වශයෙන් බිහිවීම නිසා, තෘණ, පෝෂ තෘණ, රනිල සහ සංරක්ෂිත ආහාර එනම් සයිලේජ්, වියළි පෝෂ, පරිපුරක මිශ්‍ර ආහාර, සඳහා ඇති ඉල්ලූම විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. එබැවින් අනිකුත් බෝගවලට මෙන්ම තෘණ වාණිජ භෝගයක් ලෙස වගා කිරීමට ඉඩකඩ විවෘත වී ඇත. තෘණ, පෝෂ තෘණ සහ රනිල වාණිජ වගාවන් ලෙස සංස්ථාපනය කිරීමත් සයිලේජ්, වියළි පෝෂ, පරිපුරක මිශ්‍ර ආහාර, කර්මාන්ත ඇති කිරීමත් මගින් සැලකිය යුතු වෙළඳපොළක් ඇති කිරීමටත්, රැකියා නියුක්තියක් ඇති කිරීමටත් අවකාශ ඇත. ආහාර බෝග වගා කළ නොහැකි ආන්තික ඉඩම් මේ සඳහා යොදා ගත හැකි යාන්ත‍්‍රණයක් සකස් කළ යුතුය. තවද කිරි නිෂ්පාදකයින් සියලූ දෙනාම හැකි පමණ තම ඉඩම්වල තෘණ, පෝෂ තෘණ සහ රනිල වගා කිරීමට දිරි ගැන්විය යුතුය. සමුපකාර සමිති සහ පුද්ගලික ව්‍යවසායකයින්ට පහසුකම් ලබාදී මේ සඳහා දිරි ගැන්වීම කළ යුතුය. කුඩා පරිමාණ ගව හිමියන්ද තමන්ට හැකි තරම් ඉඩ ප්‍රමාණයක වගා කිරීම සඳහා දිරි ගැන්වීම අත්‍යවශ්‍යවේ. තවද, වානිජ පැල තවන් ඇතිකිරීම මගින් අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි.


තෘණ, පෝෂ තෘණ සහ රනිල වාණිජ වගාවන් ලෙස සංස්ථාපනය කිරීම, සයිලේජ්, වියළි පෝෂ, පරිපුරක මිශ්‍ර ආහාර, කර්මාන්ත ඇති කිරීම සඳහා ගොවින් පෙළඹවීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ව්‍යාප්ති සේවය සහ වෙළඳපොල සම්බන්ධතා ඇති කිරීම අත්‍යවශ්‍ය වේ. තවද, කිරි නිෂ්පාදකයින් සඳහා වැඩසටහන් සම්පාදනය කිරීම මගින් අලූතින් හඳුන්වා දෙනු ලබන තෘණ, පෝෂ තෘණ, රනිල වගා ක්‍රම, කොළදාව සංරක්ෂණය කළහැකි ක්‍රම පුහුණු කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සකස් කළ යුතුය. මෙම මැදිහත්වීම් මගින් කිරි නිෂ්පාදකයින්ගේ ගැටළු ප්‍රායෝගිකව විසඳීම විශේෂයෙන් කළ යුත්තේ ආහාර හිඟය උග්‍ර අවස්ථාවලදී සාර්ථකව මුහුණ දීමට හැකි වන පරිදි උචිත, අඩු වියදමෙන් යුත් නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම මගිනි. ක්‍රමානුකුලව ආහාර දීම මගින් කිරි නිෂ්පාදිතයින්ට දීර්ඝ කාලීනව ලැබිය හැකි යහපත් ප්‍රතිපල පිළිබඳව ගොවීන්ට ඔප්පු කර පෙන්විමද ඉතාම වැදගත්ය.


තවද ගොවින් සඳහා සුදුසු, දේශගුණයට ඔරොත්තු දෙන, සුළු පරිමාණ ගොවීන්ට සුදුසු නෑම්බියන් ලබා දීමට වැඩ පිළිවෙලක් සකස් කිරීම මගින් ඔවුන්ගේ කිරි පට්ටිවල තත්ත්වය දියුණු කිරීමට පියවර ගැනීම වැදගත් මෙන්ම, අභියෝගාත්මක කටයුත්තකි. ඔවුන්ට ඒත්තු ගැන්විය යුත්තේ ක්‍රමානුකූලව, සමතුලිත ආහාර දීම මගින් කිරි නිෂ්පාදනය මාස දෙකක පමණ සුළු කාලයකදී 50% පමණ ඉහළ දැමීමට හැකි බවයි. කිරි නිෂ්පාදනයේ ස්වයංපෝශිත තත්වයට ළඟා වීමට, කුඩා පරිමාණ නිෂ්පාදකයින් සඳහා සුදුසු අපේක්ෂිත, ධනාත්මක බලපෑමක් ලෙස මෙය සඳහන් කළ හැකිය.


තවද ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා කිරි ගව ව්‍යාපෘතිය මගින් ඇති කරන ලද මධ්‍යම සහ විශාල පරිමාණ කිරි ගව ගොවිපළවල ඇති අඩුපාඩු සොයා බලා ඒවා නැවත යථා තත්ත්වයට ගැනීමට පියවර ගත යුතුය.
එය කිරිවලින් ස්වයංපෝශිත තත්ත්වයට ළඟා වීමට විශාල රුකුලක් වනු ඇත. 2017 වසරේදී, මෙම ගොවිපොළවල් සඳහා 1994 ගැබ්බර Jersey සහ Jersey- Frisian දෙමුහුම් ගැබ්බර මුහුම් සතුන් ආනයනය කරන ලදී. දෙවැනි පියවරේදී, ගැබ්බර Jersey සහ jJrsey- Frisian දෙමුහුම් නෑම්බියන් ගෙන්වා ව්‍යවසායකයින් 70 දෙනෙකු සඳහා බෙදා දෙන ලදී. මෙම ගොවිපලවල් පිහිටා ඇත්තේ මධ්‍යම, උතුරු, වයඹ සහ ඌව පළාත්වලය.
කිරි එකතු කිරීමේ ජාලය වැඩි දියුණු කිරීමද ඉතාම වැදගත්ය. සුළු පරිමාණ නිෂ්පාදකයින් දිරිගැන්වීම සඳහා කිරි එකතු කරන සහ කිරි ශීතකරණ කුඩා මධ්‍යස්ථාන ගණන වැඩි කිරීම කළ යුතු අතර සමුපකාර සමිති මගින් ඒවා පාලනය කිරීමට පියවර ගැනීම වැදගත්ය. එම ස්ථානවල සේවයේ නියුතු අයට අවශ්‍ය පුහුණුව සහ යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතා කිරීමට අවශ්‍ය දැනුම ලබා දිය යුතුය. මේ මගින් උදයට පමණක් නොව සවස කිරි එකතු කිරීමේ පහසුකම්ද ගොවීන්ට ලබා දිය හැකිය. මේ මගින් සියලූම සුළු පරිමාණ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදනය අවම වශයෙන් 10% ප්‍රමාණයක් වත් වැඩිකර වැඩි ලාභයක් ලබා දීමට මග සැලසේ.


කිරි ගොවින්ට කිරි ලීටරයකට ලැබෙන සහතික මිළ සහ පාරිභෝගිකයාට ලැබෙන මිල අතර පරාසය ඉතා වැඩිවීම, කිරි නිෂ්පාදකයින්, කර්මාන්තයෙන් ඉවත් වීමට ප්‍රධාන හේතුවකි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ කිරි සැකසීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවීමයි. අගය එකතු කළ කිරි නිෂ්පාදනවලට යොමුවීමෙන් අගය දාමය සංවර්ධනය කිරීම මගින් මෙම ගැටලූව තරමක් දුරට විසඳා ගත හැක. ගම් මට්ටමින් කිරි නිෂ්පාදන සැකසීමට පහසුකම් ලබාදීම ඉතා වැදගත්ය. මේ මගින් රැකියා නියුක්තිය ඇති කිරීම, ව්‍යාපාරික අවස්ථා ඇතිකොට සුළු පරිමාණ ව්‍යවසායකයින් බිහිකිරීම, කළ හැක. මේ අයුරින් ශ්‍රී ලංකාව තුල කිරි නිෂ්පාදන කර්මාන්තයට සුදුසු පරිසරයක් නිර්මාණය කළ හැකිය. කිරි නිෂ්පාදනයට සම්බන්ධ සියලූම ක්‍රියාකාරීන් මනා සහයෝගිතාවයෙන් කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝශිත තත්වයට ළඟාවීම වැඩි ඇතක නොවේ.


කිරි නිෂ්පාදනයේ අතුරු ව්‍යූහය දියුණු කිරීමද ඉතා වැදගත්ය. ඒ මගින් පිරිසිදු කිරි නිෂ්පාදනය කිරීමටද, කිරි පට්ටි වල සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරිම මගින් නිෂ්පාදන තත්වය ඉහල දැමීමද සිදුවේ.
අපගේ අසල්වැසි රට වන ඉන්දියාව කිරි නිෂ්පාදනයෙන් ලෝකයේ පළමු තැනට පත්වුණේ සුළු පරිමාණ නිෂ්පාදකයින් විශාල ප්‍රමාණයකගේ දායකත්වයට විශේෂ වටිනාකමක් දීම නිසාය. එබැවින් අපේ රට කිරිවලින් ස්වයංපෝශිත තත්ත්වයට පත් කිරීමට කිරි නිෂ්පාදනයට සම්බන්ධ සියලූම ක්‍රියාකාරීන්ගේ මනා සහයෝගිතාවය අගය කරමු. 

ආචාර්ය වගීෂා ගුණසේකර


මුළු ලෝකයම මුහුණ දෙමින් සිටින කොවිඩ් 19 වසංගතය හමුවේ, කාලයක් තිස්සේ අඛණ්ඩව සිදුවෙමින් පවතින ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වී ඇත. එමගින් හටගන්නා දේශපාලනික, සමාජ සහ සංස්කෘතික අර්බුද රාශියක් හමුවේ ලෝක බලතුලනයේ වෙනස් වීමක් සිදුවන බව පෙනේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යුද්ධයක් අවශ්‍ය බව විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කළේය. ට්‍රම්ප්ට යුද්ධයක් අවශ්‍ය වී ඇත්තේ ඇයි? මෙම අවශ්‍යතාවයට ව්‍යුහාත්මක සාධක, වාස්තවික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පැහැදිලි අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරන්නේ මාක්ස්වාදී දර්ශනයයි.

 යුද්ධවල මූලාරම්භය සහ ධනවාදයේ ඓතිහාසික සංවර්ධනය අතර ඇති සම්බන්ධතාවය ගැන මාක්ස්, එංගල්ස්, රෝසා ලක්සම්බර්ග්, ලෙනින් සහ ට්‍රොට්ස්කි වැනි බොහෝ දෙනා විග්‍රහයන් ඉදිරිපත් කොට ඇත. මෙම පුද්ගලයන්ගේ අදහස් සරලව පියවර තුනකින් වටහාගත හැකිය.

 පළමුවැනි පියවර වන්නේ ධනවාදය තුළම පවතින ප්‍රතිවිරුද්ධතා සහ එය තුළින් හටගන්නා ආර්ථික අර්බුද, මාක්ස් Das Capital, Volume III, Chamter 15, Section I හි ලියූ පරිදි ධනේෂ්වර පන්තිය තම ලාභය සහ ප්‍රාග්ධනය සමුච්ඡය කරන්නේ මාර්ග දෙකක් භාවිතා කරමින්ය. මෙම මාර්ග දෙක භාවිතා වන්නේ කම්කරු ශ්‍රමය සූරා කෑම සහ එලෙස සූරාකෑමෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණීමයි. මෙමගින් ධනේෂ්වරය ‘ලාභය’ උපයති. ලාභය නොමැති නම් ව්‍යාපාර ගෙනයාමට නොහැකි වනු ඇත. විරැකියාව තීව්‍ර වනු ඇත. ණය ආපසු ගැනීමට නොහැකි වනු ඇත. බැංකු පද්ධතිය කඩා වැටෙනු ඇත. එමෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයද හිස්වනු ඇත. මෙයින් හටගන්නේ ආර්ථික අර්බුදයකි. මාක්ස්ගේ අර්ථ දැක්වීමට අනුව ධනවාදී ව්‍යුහයක් තුළ මෙවැනි අර්බුද අනිවාර්යයෙන් හටගනී. ඒ ඇයි? ධනේෂ්වර පන්තිය වැඩි වැඩියෙන් ලාභය උපයන්නට තම නිෂ්පාදනය ඉහළ දමති. එනිසා කම්කරු ශ්‍රමය සූරාකෑමද තීව්‍ර වේ. මෙම තත්ත්වය විසින් ‘අධි නිෂ්පාදනයක්’ – Over Production නිර්මාණය කරයි. මෙලෙස නිෂ්පාදනය වන භාණ්ඩ සඳහා නව වෙළෙඳ පොලවල් සොයන්නට අවශ්‍ය වනු ඇත. මෙම ප්‍රවණතාවය දැනටත් ලෝකයේ දක්නට ඇත. මෙයට හොඳම උදාහරණය වන්නේ ලෝකයේ ආහාර නිෂ්පාදන අතිරික්තයයි. අද ලෝකයේ පුද්ගලයින් සාගින්නේ පෙළෙන්නේ ආහාර නිෂ්පාදනයේ හිඟයක් නිසා නොවේ. ඇමරිකාව වැනි රටවල් බඩ ඉරිඟු නැව් ගණන් පැසිපික් සාගරයට ඉවත දමන්නේ නිෂ්පාදන අතිරික්තය නිසාය. මෙයින් අප වටහා ගත යුත්තේ ධනවාදී ආර්ථික ව්‍යුහය තුළින් ඇතිවන අධි නිෂ්පාදනය නිසාත්, නව වෙළෙඳ පොලවල් ව්‍යාප්ත කිරීමෙන් ලාභය එක මට්ටමක තබා ගැනීමට නොහැකි නිසාත්, කෙමෙන් කෙමෙන් සමස්ත ලාභය පහත වැටෙන බවයි. ආයෝජනයට සාපේක්ෂව ලාභය මනින හෙයින් මෙය හඳුන්වන්නේ ‘ලාභ අනුපාතයේ පහත වැටීම’ ලෙසිනි. මෙලෙස ලාභ අනුපාතය පහත වැටීමේ ප්‍රවණතාවය ආර්ථික අර්බුද නිර්මාණය කිරීමට මූලික හේතුව වේ.

 දෙවන පියවර ලෝකයේ නිර්මාණය වී ඇති ජාතික රාජ්‍ය යන සංකල්පය බව මාක්ස්වාදී විචාරකයන්ගේ මතය වී ඇත. මාක්ස්වාදී චිචාරකයක්ට අනුව නූතන ලෝකයේ සමස්ත ජාතික රාජ්‍ය ව්‍යුහය මේ ධනවාදී ආර්ථික ක්‍රමයේ නිෂ්පාදන රටාව ඉදිරියට ගෙන යයි. නමුත් ධනවාදයෙන් විකාශනය වී ඇති නිෂ්පාදන රටාව සහ ආර්ථික බලවේග ජාතියේ සහ රාජ්‍යයේ සිමාවන් ඉක්මවන බව ඔවුන් තවදුරටත් කියා සිටී. එවිට හටගන්නේ අප වර්තමානයේ සැලකිල්ලට ගන්නා ගෝලීය ආර්ථිකයයි. එසේත් නැත්නම් ගෝලීයකරණයයි. ගෝලීය ආර්ථික ක්‍රමයේ ස්වභාවික ප්‍රවණතාවය වන්නේ  රාජ්‍ය සීමාවන් ඉක්මවා යන්නට උත්සාහ කිරීමයි. මුළු ලෝකයමත්, ගොඩබිම සහ මුහුද, මතුපිට මෙන්ම අභ්‍යන්තරයට එක් ආර්ථික වැඩ පොළක් බවට පත් වී ඇත. එහි කොටස් එකිනෙකට වෙන් කළ නොහැකි වන ලෙස සම්බන්ධිතය.

 තුන්වන සහ අවසාන පියවර වන්නේ මෙලෙස එකිනෙන බද්ධ වී ඇති ආර්ථික ව්‍යුහය එහි අභ්‍යන්තරයෙන්ම නිර්මාණය වන අර්බුද නිසාම එම අර්බුදවලින් එළියට ඒමට සිදුකරන උත්සාහයයි. එම උත්සාහයේ ප්‍රධාන අංගයක් වන්නේ යුද්ධයයි. යුද්ධවලට මූලික වන්නේ දේශපාලන හෝ සමාජයීය කාරණා ලෙස සරලව සැලකුවත් මාක්ස්වාදී විග්‍රහයන්ට අනුව යුද්ධවලට පදනම් වන දේශපාලන, සමාජයීය හෝ සංස්කෘතික හේතූන් සෑම එකකම ප්‍රභවය ධනවාදී ආර්ථික ව්‍යුහය තුළින්ම පැන නගින අර්බුද බවයි. යුද්ධවලින් සිදු වන්නේ පවතින ආර්ථික, දේශපාලන, සමාජයීය සහ මානසික ක්‍රියාවලීන් සියල්ල කඩාකප්පල් කිරීමයි. මේ ක්‍රියාවලීන් කඩාකප්පල් කිරීමේදී සහ යුද්ධයෙන් පසු නැවත ලෝකය ගොඩනැගීමේදී ධනවාදී ආර්ථික ව්‍යුහය ප්‍රතිනිර්මාණය වෙයි. යුද්ධය වටා ඉතා ලාභදායී උප ආර්ථික නිර්මාණය වීමද මේ අතරම සිදුවන දෙයකි. මාක්ස් සහ එංගල්ස් පවසන්නේ (1887) යුද්ධවල කූටප්‍රාප්තියට හේතුවන්නේ මේ ආර්ථික අර්බුද බවයි. 1887 දී එංගල්ස් පළමුවැනි ලෝක යුද්ධය පිළිබඳ මුලින්ම අනාවැකි පළ කළේය. ඔවුන් දෙදෙනාගේම තර්කය වන්නේ මෙවැනි යුද්ධ තුළින් කම්කරු පන්තියේ අයිතිවාසිකම් උදෙසා අරගල කිරීමට සැලකිය යුතු අවකාශයක් නිර්මාණය වන බවය. ඔවුන් තවදුරටත් පවසා සිටින්නේ යුද්ධ තුළින් පවතින අධිරාජ්‍යවාදී ව්‍යුහයට දේශපාලන විසඳුමක් ලබා ගත හැකි බවයි. එංගල්ස් 1887 දී ලෝක යුද්ධයක් පිළිබඳ අනාවැකි පළ කළත් එය තහවුරු වූයේ 1914 දීය. 1917 දී රුසියාවේ සිදුවුණු ඔක්තෝබර් විප්ලවය ද එදා එංගල්ස් පළ කළ අනාවැකියේම කොටසකි.

පළමුවෙනි ලෝක යුද්ධයෙන් පසු 1928 පමණ වන විට නැවතත් ලෝකයේ ආර්ථික අර්බුදයක් හට ගත්තේය. මහා අවපාතය Great Depression පැන නගින්නේද එම අර්බුදය ඔස්සේමය. මේ ආර්ථික අර්බුදය පසුබිමේම නාසි ජර්මනියේ වර්ධනයත් විවිධ රටවල අධිරාජ්‍යවාදී අභිලාෂයන් තීව්‍ර වීමත් සමගාමීව සිදුවිය. මේ ප්‍රවණතාවයන් පිළිබඳ තම නිරීක්ෂණයන් ඉදිරිපත් කරන බල්ගේරියානු හිටපු කොමියුනිස්ට් නායන ජෝර්ජි දිමිත්‍රියොව් දෙවැනි ලෝක යුද්ධයක් පිළිබඳවද අනාවැකියක් පළ කළේය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ආර්ථික අර්බුද හටගත්තද තවමත් ලෝක යුද්ධයක් හට ගත්තේ නැත. මෙයට ප්‍රධාන හේතුව ලෝකයේ රටවල් ගණනාවකටම න්‍යෂ්ටික අවි බලයක් හිමිව තීබීමයි. Nuclear Detterence යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. න්‍යෂ්ටික බල තුලනය නිසා යුද්ධයක් ඇති වීම වැළකී තිබුණත් වෙනත් මාර්ගවලින් රටවල් ගණනාවක යුද තත්ත්ව ඇති විය. කොරියන් යුද්ධය, වියට්නාම් යුද්ධය, ඇෆ්ගනිස්තාන, ගල්ෆ් යුද්ධ මෙන්ම වෙනත් රටවල් ගණනාවක සන්නද්ධ යුද්ධ ඇතිවිය. උතුරු කොරියාව වැනි රටවල් තම න්‍යෂ්ටික අවි බලය වර්ධනය කරගනිමින් අනික් රටවල බලපෑම්වලට එරෙහි වීමට උත්සාහ ගනිමින් සිටී. තවත් රටවල් ජාතික ආරක්ෂාව නිදහසට කරුණ ලෙස දක්වමින් න්‍යෂ්ටි අවි සහ මිසයිල වර්ධනය කරගනිමින් ඇත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කර ඇති ජීව අවි නිෂ්පාදනයද අඛණ්ඩව සිදුවේ. මේ සියල්ල අතර නූතන යුද පිටියේ නවතම මානය වන්නේ රටවල් අතර ඇති තාක්ෂණික තරගයයි. Space War හෙවත් අභ්‍යාවකාශ යුද්ධය, එකිනෙකාගේ චන්ද්‍රිකා සහ අභ්‍යාවකාශ යටිතල ව්‍යුහ විනාශ කිරීම දැනටත් සිදුවෙමින් පවතී. ජාත්‍යන්තර ත්‍රස්තවාදය, සයිබර් යුද්ධ වර්තමානයේ සියලු රටවලට පාහේ තර්ජනයන් ඇති කර අවසන්ය. මේ යුද්ධ වටා උප ආර්ථික ගණනාවක් ඇතිව තිබීමද දැකිය හැකි ලක්ෂණයකි. මේ පිළිබඳව ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ Dwight D. Eisenhower වරක් පවසා සිටියේ මේ උප ආර්ථිකයන් Military Industrial Complex වශයෙනි. ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික ආයුධ නිෂ්පාදකයන්, ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්, ආණ්ඩු මෙන්ම ත්‍රිවිධ හමුදා අතරත් බලවත් අන්‍යෝන්‍ය වශයෙන් වාසි සහගත සුසංයෝග නිර්මාණය වන බවකි. එය මෙහෙයවන්නන් ලෝකයේ ආර්ථික හා දේශපාලන ආධිපත්‍ය ලබා ගන්නා බවය. 1990 න් පසු අද වනතුරු මේ Military Industrial Complex හි ප්‍රමුඛයා වන්නේ ඇමරිකාව ඇතුළු ඔවුන් සමඟ සන්ධානගතව ඇති යුරෝපීය ජී7 හෝ ජී8 රටවල් සමූහයයි.

Popular Tags

වම් ඉවුරේ වෙබ් නාදය