Saturday, 20 April 2024

මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක් - චීනය දුප්පත්කම අහෝසි කරයි

චීනයේ ප්‍රාන්ත 832කට අයත්වන නාගරික මෙන්ම ගම්බද ජනතාවගේ දුප්පත්කම නිමාවට පත් කළ බව චීන ජනාධිපති ෂි ජින් පින් මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. දුප්පත් බව තුරන් කිරීමේ අරගලයට සෘජුව නායකත්වය දුන් 1800 දෙනෙකුට ජනතා ගෞරවයට පාත‍්‍ර කොට සම්මාන පිදීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් රජයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් චීනයේ බීජිං නුවර පැවති උපහාර උත්සවය අමතා චීන ජනාධිපතිවරයා මේ බව මුළු ලොවටම දැනුම් දී ඇත.

මෙම උත්සවය අමතා කතා කළ චීන ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත.

”දුප්පත්කම සමාජය තුළ පවතින නිධන්ගත රෝගයකි. එය තුරන් නොකොට ජනතාවගේ මූලික අයිතිවාසිකම් සපුරාලිය නොහැකිය. එය සමාජවාදය ගොඩ නැගීමේ ක්‍රියාවලිය තුළ සිදු කළ යුතු අරගලයකි. චීන කොමියුනිස්ට් පක්ෂය එම අරගලයට අභීතව නායකත්වය දුන්නා. අපි අපේ ජනතාවගේ දුප්පත්කම නැති කිරීමට සෘජුවම ක්‍රියා කළා. එපමණක් නොව ආර්ථික සංවර්ධනය තුළින් ලොවේ සෙසු රටවල ජනතාවගේ දුප්පත්කම නැති කිරීමටද අප වක්‍රව දායක වී තිබෙනවා.”

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනට අනුව චීනයේ අන්ත දුගීභාවය තුරන් කිරීමේ ඉලක්කය කරා ළඟා වීමට නියමිතව තිබුණේ 2030 වසරේදීය. එහෙත් 2013දී ෂි ජින් පින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සැලසුමට අනුව චීනයේ දුගී බාවය, 2020 අවසන් වන විට තුරන් කිරීමට චීනය සමත් වී ඇත. 2013-2020 දක්වා ඔවුන්ගේ ඉලක්කගත වැඩ සටහනට අනුව දුප්පත්කමින් මුදවා ගත් චීන ජනගහනය මිලියන 770කි.
චීනයේ දුප්පත්කම තුරන් කිරීමට පාදක වූ ගම්මාන ගණන 150,000කී. ලොව පුරා නායකයින් චීනයට සුබ පැතුම් එක්කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාද චීනයට සුබ පැතු ලෝක නායකයින් අතර විය.

 

වම් ඉවුරේ වෙබ් නාදය